සඳට බැළුම් හෙලූ අය

Apr 28, 2018

හීනයක් පාට කලෙමි !





කාලාන්තරයක් තිස්සේ දැකපු හීනයක් නොහිතූ විදියට  හැබෑ උනොත් ඒක මොන තරම්නම් සතුටක්ද...ඉතින් මේ කියන්න යන්නෙ මගේ ජීවිතේ එහෙම සැබෑ වුන එක හීනයක් ගැන.මේක ඉතින් මේ පෝස්ට් එක කියවන බොහෝ දෙනෙකුට මේ වෙනකොට අලුත් දෙයක් නම් නෙවෙයි.ඒත්  තාමත් මගේ සතුටේ උණුහුමට ඒක බාධාවක්නම් නෙවෙයි.කවදා හරි නවකතාවක් එලි දක්වන්න , කවි පොතක් එලි දක්වන්න , මම ලියපු පද වැලක් ගීතයක් වෙනවා දකින්න වෙලාවක් අවේලාවක් නැතුව ලියන්නියක් වෙච්ච මට තිබුණු  ලස්සන හීන වලින් කීපයක්.

සීතල හිම කැට විසිරුණු  එහෙමත් නැත්තන් ආදරණීය දෙවෙන්දොරා කියන්නේ ගීතයක් වෙලා පාට වෙච්ච මගේ ලස්සන හීනයක්.මුලින්ම ගීතයක් කරන්න මම තෝරගෙන හිටියේ මම ලියපු වෙන පද වැලක්. ඒත් ඒක පොඩ්ඩක් පස්සට තියලා මේක මුල්ම ගීතය වෙන්නේ පහුගිය දවසක තිබුණු ජාතික සාහිත්‍ය උළෙලේ සමස්ත ලංකා දෙවෙනි ස්ථානයට මේ පද රචනාව තේරීමත් එක්කයි.මගේ අම්මට තමයි මේ පද වලට ඒ ලැබුණු අගය කිරීමට වටිනා කමක් දෙන්න ඕන වුනේ.ඉතින් පහුගිය මාර්තු මාසේ එකොළොස් වෙනිදට යෙදුන මගේ උපන් දිනය වෙනුවෙන්  අම්මගෙන් ලැබුණු තිළිණය තමා මේ ගීතය.මේ ගීතය නිෂ්පාදනය සදහා ගිය සියලු වියදම් ඇගෙන්.කොච්චර උස් මහත් උනත් තාමත් අවුරුදු පහලවේ දාසයේ එකියෙක්ට වගේ මට සලකන, මම ඇයට යුතුකම් ඉටු කරන්න ඕන කාලෙ වෙලත් තාමත් අපේ පස්සෙන් ඉදගෙන අපිට අත දෙන එක ඇගේ යුතුකම කියල හිතන ඒ ආදරේට ආදරෙයි කියලා විතරකුත් මදි.

මේ වෙනකොට දන්න කියන අයගෙන් ගීතයට ප්‍රතිචාර ලැබිලා ඉවර උනත් මේ ගීතය පිටුපස්සේ ඉදන් වචනෙකින් හරි උදව් කරපු අගයපු අයට ස්තූතියි කියන්න ආදරෙයි කියන්න මේ තමයි හොදම වෙලාව.මුලින්ම හැමදාමත් කවි ගීත රචනා තරඟ තියෙනකොට ඒවා පිළිබඳව  මූණු පොතේ ඉදන් වසර ගනනාවක් තිස්සේ මාව දැනුවත් කරන දිනිති දීපිකා තමයි මේ තරඟය පිළිබඳවත් මාව දැනුවත් කලේ.වසර බර ගානක් තිස්සේ මූණු පොතේ මිතුරියක් උනත් අද වෙනතුරු දැකලාවත් නැති අඩුම තරමේ දුරකතන ඇමතුමකින්වත් සම්බන්ධ වෙලා නැති ඒත් ඒත් ඈ දැනගන්න සියල්ල මාත් එක්ක බෙදා ගන්න ඒ අපූරු මිතුරියටත් ඒ නිහතමානි කමටත් මුලින්ම ස්තූති කල යුතුමයි. දිනිති වගේම තමා සිසිර මාමත්.අපි වගේ ආධුනික ලියන්නන්ට අපූරු මඟපෙන්වන්නෙක්.

ඊට පස්සෙ මූණු පොතෙන්  බ්ලොග් පිටුවෙන් මාව කියවන  මාව අගය කරන අඩුපාඩු පෙන්නල දෙන ඔයාල ඇත්තටම මට ශක්තියක් ඔයාල කියවන නිසා තමා මම ලියන්නේ මට ලියන්න කැමැත්තක් ඇති වෙන්නේ.ඒ අතරින් අපේ  චෙෆාකි තුමාට විශේෂය
න් ස්තූති කියන්න ඕනේ. මොකද එයා තමා අකුරෙන් අකුරට අඩු පාඩු පෙන්නල දෙන නොගැලපෙන වචන පෙන්නල දෙන එකම කෙනා.මීට  අවුරුදු එකහමාරකට විතර කලින් මම මේ පද රචනාව ගීතයක් වෙනු දකින හීනයක් ලේබල් එක යටතේ  ලිව්වම  එකේ බොහෝ වචන අඩු පාඩු පෙන්නල දුන්නේ චෙෆාකි තුමා තමා.ඉතින් එයාට ස්තූතියි නොකියා කොහොමද .ඒ වගේම රස්තියාදුකාරයා ලියන රස්තිවත් මතක් කරන්න ඕනේ. ගීතය පිට උන දවසෙම මටවත් හිතන්න ඉඩක් නොතියම එයා ගීතය ගැන අපූරු විචාරයක් ලියලා තිබුනා.මම හිතන්නේ බ්ලොග් වලට ගීතය අරන් ආවෙ එයා.ආ..න් ඒ හින්දම තමා මේ පෝස්ට් එක කියවන ඔයාලට හෙන  බෝරිං උනොත්  බෝරිං වෙන්නේ. ඒකට බනින්න ඕනේ රස්තිට තමා ඔන්න හොදේ.

ඉතින් ඊටත් පස්සෙ මගේ ජීවිත ගමනේ ආදරණීය ගමන් සඟයට... පංගුකාරයට... සත්තලන්ට.... එයා හොද සහකාරයෙක් නොවුනානම් මේ කිසිම දෙයක් නෑ.මගේ සීමාවක් නැති ලිවිල්ලට කවමදාවත් අකුල් නොහෙලන එකටම මම එයාට පුදුම තරම් ගෞරව කරනවා.මම මොන මඟුලට මල් වවන එකියෙකුට නැතුව කවි ලියන එකියෙකුට කර ගැහුවද දන්නෙ නෑ කියල කිව්වට.මාව අවුස්සන්න දාහක් දේවල් කිව්වත් ඒ හැමදේම විහිලුවට කියල මම දන්නව.( ඒ වෙලාවට බෙල්ල මිරිකන එක වෙනම දෙයක් ).ආදරෙයි ඔය ආදරේට ගොඩා.......ක් .

මේ පල්ලෙහා තියෙන්නේ ඔය හැමෝගෙම ආදරෙන් උදව්වෙන් ආශිර්වාදෙන් පාට කරපු මගේ හීනය. ඉතින් අහලා රසවිඳලා දැනුන දේ අවංකවම කියල යන්න කියල ආරාධනා කරනව. වැටවල්නම් ගහන්න එපා ඔන්න හොදේ.

ගායනය - පවරි අමරසා
පද රචනය - ශානිකා ශෂීප්‍රියා
තනුව හා සංගීතය - දර්ශන වික්‍රමතුංග


Apr 24, 2018

මුලාව !





ලෝකෙට පේන්නෙ
ඔයාට මාවත්
මට ඔයාවත් නැතුව
පැවැත්මක් නෑ කියල....

            *
            *
            *
ඒත් අපිනෙ දන්නෙ
අපි අපෙන්
කොච්චරක්නම්
දුරින් දුරද කියල.....

Apr 19, 2018

එ'ගිරි හිස මත !




ඉරා මීඳුම් සළු තිර
බදාගෙන සොඳුරු සඳ මිණ
සුරත් පැහැ පියුම් පෙති මත
රසෝඝයකය
නැමුණු ඒ කුල..

නිල්ල නිලනා නිම්නයක
වෑස්සෙන සිහින් මුවරද
තබා තිසරුන් තුඩ තුඩ
පෙමාතුරය
නැමුණු ඒ කුල..

නොසන්සුන් සුසුමක ස්වර
හමන සන්සුන් වන ගැබ
මහනෙලක  ම'කරඳ  විඳ විඳ
කෙඳිරියකය
නැමුණු ඒ කුල...


උණ කියලා ඉතින් මෙහෙම ඇඳටම වෙලා ඉන්න පුලුවන් කාටද අප්පා.. මේ දවස්වල ගෙදර සියලුම රාජකාරී ආදරණීය නැන්දම්ම බාර අරන් ඉන්න නිසා බැරි බැරි ගාතෙවත් කරන්න කියල වැඩක් නෑ.ඉතින් වෙව්ල වෙව්ලත් බ්ලොග් අස්සෙයි බුකියේ කවි අස්සෙයි තමා. ඔන්න මේ දැන් රයිටර් දාපු කවියකට උණ විකාරෙන්ම  තම ඔය උඩ කවිය ලිව්වෙ.ඔන්න පල්ලෙහායින් අමුණනවා එයාගේ කවිය.

මිහිදුමෙන් පිරිමැද
මුදු රණ හංස පුඩු තුඩු,
නමුණුකුළු ගිර වට,
පිපෙයි හීගඩු
තුරුලතා ලප,

බදා බඳ වට
සීතල අතක් කළුවර,
සිසාරා සියොළඟ
හාදු ගෙනයයි
දෙතොලකින්
උල්පත,

අඩවන් අතර ඇහිපිය,
තාලයකි දිය කඳුරෙහි
කෙඳිරිය,
සන්සුන් සරිනි
සුසුමන් මදනල,
ළමැදින් හමයි සුවඳක්
සේපාලිකා මකරද,

~  රයිටර් ~

Apr 16, 2018

දනිමි හැදින්නෙමි !


පෙම්වත
හිම වගේ හීතල හිතකින්
මවා දී සෙනෙහස
හිටිහැටියෙ
පිපිරෙව්වෙ කොහොමද
විප්පයෝගයේ ගිනි කන්ද !

ඉතින්....

තූ තූ කල පසු හදවත
සමකාසන්න කුණාටුවක්
දැන් මගේ ඇස් මුල
මනමාල ඔය ඇස් යට
දනිමි හැදින්නෙමි
කියූ තරම් ප්‍රේමයක් නැති වග !

Apr 12, 2018

ගම්මැද්දේ අවුරුද්දේ !


මල්වර වෙච්ච කෙවිලිගෙ මනහර සද්දේ
තුන්තිස් පැයේ රැව් දෙනවා ගම් මැද්දේ
එරබඳු ඉද්ද  පිපිලා සුවඳට බැද්දේ
ඵලබර වෙච්ච අතු ඉති සුළඟට පැද්දේ

ගැබ්බර වෙච්ච ගං කොමළිගෙ මිහිරාව
කෙකටිය පිපිල සුදු පාටින් වරුණාව
සඳ දිය වැටිල බෝ මළුවට කරුණාව
සංකර නොවුණු ගම් මැද්දක සිරියාව

පෙම්බර වෙච්ච වසන්ත සැනකෙළි සද්දේ
මා දං හිඹුටු ඉදිලා බඬවැටි මැද්දේ
බක්මහ කුමරි හිනැහෙන අසිරිය බැද්දේ
බලමින් ඉදුණු පුහුලන් කෝලෙන් පැද්දේ

කිරිබර වෙච්ච ගොයමේ හරි පිරියාව
පින්නේ පිනි වැදී දිලිසෙන සිරියාව
කන්දට උඩින් පායන රැස් දාරාව
මේ හැම සොබාදම් අම්මගෙ කරුණාව


මම ඉතින් මෙහෙම ලිව්වාට පිටිසරම ගමක උනත්  මේ තරමටම  දැන් සොබාදහමවත් අවුරුද්දවත් පිං පාටවත් සරුසාවත් නෑ මයෙ හිතේ.මට මතක තියෙන පුංචිම කාලේ අපේ අම්මාගේ මහ ගෙවල් තිබුන  වේයන්ගොඩ දී ඇරුනම මම මේ වගේ  අවුරුද්දක් ආයෙ කවදාවත්ම විඳලා නෑ.දැන් ඉතින් සේරම අවුරුදු තියෙන්නේ රූප පෙට්ටියෙයි  එෆ් එම් චැනල් වලයි විතරයිනේ.අද වෙනතුරුම මට කොහෙක් කෑ ගහන සද්දයක් අපේ පැත්තෙන්නම් ඇහුනෙ නෑ.ඉදලා හිටලා ටී වී එක දැම්මම නෙ අප්ප උනුත් කෑ ගහන්නේ.අඩුම ගානේ කජු පුහුලමක් ගහක තියෙනවා හත් අවුරුද්දකින් තියා දාහත් අවුරුද්දකින්වත් දැකලා නැතුව ඇති හයියූ. වේලිච්ච පුහුලං නම් ෆුඩ් සිටියෙන් අරන් කාලා තියෙනවා.

ඉතින් ඔන්න ඔහොම කොහොමින් කොහොමින් හරි මේත් උදාවෙන්නේ මොනා උනත් සිංහල අවුරුද්දක් නොවැ.ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඔන්න මම ප්‍රාර්ථනා කරනව හොදේ.

Apr 9, 2018

සයිබර් Love !




චැට් පෙට්ටියක අලවන
ස්ටිකර් හදවතක් උනත්
වෙලාවකට
කොයි තරම් නම් බරද....

ඉදහිට පා කරන
ඔන් ලයින් හාදුවක් උනත්
එහෙම වෙලාවට
මොනතරම් නම් උණුහුමද ....


Apr 6, 2018

මට නුඹ විතරක් උනාට ! ( ආදරයක් සහ ආදරයක් ගැන තවත් කතාවක් )




( මේ කතාව කියවන්න කලින්  රස්තියාදුකාරයගේ ආදරයක් සහ ආදරයක් කතාව කියවලා ආවනම් තමයි හොද.මේක කියවලා ඒක කියෙව්වත් අවුලක්ම නෑ ඉතින්. කොහොම හරි  ඉතින් මේ කතාව ලියවුනේ ඒ කතාව කියෙව්වට පස්සෙයි. ඒ නිසා  රස්තියාදු කාරයට පින් සිංහල ටයිප් කරන්න  බොහොම කම්මැලි නිසාම  කවි  විතරක්  ද දා ඉන්න මාව මෙහෙම ලියන්න තරම්  ප්‍රබල කතාවක් ලිව්වට.සෙල්ලම්ද ඉතින් උදේ මේක කියවලා රෑ වෙනකොට උත්තර විදියට කෙටි කතාවක්ම ලිව්ව එක.  හා නැද්ද මම අහන්නේ.? )




පපුව ගැස්සි ගැස්සි ආපු මහ ඉකියකින් ඇස් දෙකම බොඳවෙලා යද්දි තමන්ගෙ ශරීරය තව දුරටත් තමන්ගෙ පාලනයෙ නෑ කියල නුරංගිට තේරුනා. කකුල් වාරු නැතුව මහ පාරෙ ඇදගෙන වැටෙන්න ගිය නුරංගිව සචිනි හරි අමාරුවෙන් වත්තන් කරගෙන ත්‍රීවීල් එකකට ගොඩ වුනා.බෝඩිමට ඇවිත් ඇදට වැටෙනකන්ම නුරංගි හිටියෙ සිහියත් අසිහියත් අතර.ආයෙ ආයෙම අලුත්වෙන කඳුළු අතරින් නුරංගිට මැවි මැවි පෙනුනෙ මිලින්දවයි එයාගේ අතේ එල්ලිලා හෝටලේ ඇතුලට ගිය කෙල්ලවයි.

නෑ.... එක බොරූ...... එයා මගේ ... එයා මගේ.....

මහා හයියෙන් කෑ ගහන ගමන් නුරංගි එක පාරටම ඇද විට්ටමේ ඔලුව ගහගෙන ගහගෙන ගියා.සචිනිට හිතන්නවත් වෙලාවක් තිබුනෙ නෑ.සචිනි පැනල නුරංගිව නවත්තන්න උත්සහ කලත් නුරංගි හිටියෙ මාරාවේශ වෙලා.

අනේ සචී.... ඒ මගේ මිලින්ද නෙවෙයි නේද.... මට කියපං ඒ හිටියෙ  එයා නෙවෙයි නේද...

අතට අහුවෙන අහුවෙන දෙවල් පොලේ ගහල හෙම්බත් උනාට පස්සෙ නුරංගි එහෙම ඇහුවෙ සචිනිගෙ උරහිස් වලින් අල්ලගෙන හයියෙන් හොලව හොලව.

නුරා... ප්ලීස් සන්සුන් වෙයං කෙල්ලේ... උඹ මෙහෙම පිස්සු නැටුවා කියල කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑනේ... අපි උඹට ඕක ගැන කලින්ම කිව්වා... ඒත්  උඹට ඕන  උනේ උඹේ ඇස් වලින්ම දකින්නනේ... ඉතින් දැන් හරිනේ...

මම මගේ ඇස් වලටත් වැඩිය මිලින්දව විශ්වාස කරනව සචී...

නුරංගි එහෙම කිව්වම සචිනිට නුරංගි ගැන ඇත්තටම දුක හිතුනා. ආදරේ අන්ධයි කියල කියන්නෙ මෙහෙම වෙලාවට වෙන්න ඇති කියල ඇයට හිතුන.ඒත් සචිනි දුක යටපත් කරගෙන  නුරංගිට ඇත්ත තේරුම් කරන්න උත්සහ කලා.

 උඹට නම් පිස්සු නුරා.... මුලු ටවුන් එකේම බඩුවක් කියල කාඩි වැදිච්ච එකියක් එක්ක අතින් අල්ලගෙන  හෝටලේකට රිංගපු එකාව උඹට තාම විශ්වාසයි...?

එයා එහෙම කෙනෙක් නෙවෙයි දෙයියනේ... මම එයාව දන්නේ පොඩි කාලේ ඉදන්...එයා මාව එයාගෙනුත් පරිස්සම් කලා..

 ඇත්තමයි එහෙම මතක් වෙද්දි නුරංගිගෙ පපුව ආයෙමත් අලුතින්ම ගිනි ගත්ත.අවුරුදු ගානක් ආශ්‍රය කරලත් මිලින්ද කිසිම වෙලාවක තමන්ගෙන් අයුතු ප්‍රයෝජණ ගන්න උත්සහ කලේ නෑ.සියුම් ආලිංගනයක්.. සිපගැනීමක් .. ස්පර්ශයකින් එහාට යන්න ඔහු කොයිම වෙලාවකවත් ඉස්සර උනේ නෑ.සීමා මායිම් උල්ලංගනය කරන්න  නුරංගිගේ ගෑනු හිතට පවා ඉවසුම් නැති වෙන  අවස්ථාවලත් හැමදේම කන්ට්‍රෝල් කලේ මිලින්ද.

 ඒ කියන්නේ දැන් උඹ හිතන්නෙ ඌ අර බඩුවගෙ අතින් ඇදගෙන හෝටලේට රිංගුවෙ අල තම්බන්න කියලද...

සචිනි එහෙම ඇහුවෙනම් අසූහාර දහටම කේන්ති ගියාට පස්සෙ.

හා... ඒකත් මරු වැඩේ තමන්ගෙ එකීව කවද හරි පැකින් පිටින් ගෙනියන්න තියල අනුන්ගෙ එකියක් තමන්ගෙ ඕනෑ එපා කම් වලට පාවිච්චි කරන එක..

අනේ සචී .. එයාට බනින්න එපා....

නුරංගි ... උඹ පව්... ඇත්තටම උඹ පව්... මෙච්චර දෙයක්, ඇත්තක් ඇස් පනාපිට  ඔප්පු වෙලා තියෙද්දිත් උඹ මිලින්දව නිවැරදි කරන්න හදනවා. .. ඒ උඹේ ආදරේ තරම...සමහර විට හෙට වෙනකොට උඹ මේ සේරම අමතක කරල ඌත් එක්ක ආයෙත් ආදරෙන් ඉඳීවි.ඒක උඹේ කැමත්ත..ඒත් හිතල බලපං කවද හරි උඹල කසාඳ බැන්දත් උඹට වෙන්නෙ ඔය ටිකම තමා. උඹව ලස්සනට ගෙදර තියලා ඌ පිට යනවමයි...

සචිනි ගියේ ඔය වගේ තව ගොඩක් දේවල් කියල එක පැත්තකින් නුරංගිගෙ හිත හදන ගමන්ම තවත් පැත්තකින් හිතන්න නුරංගිගෙ හිතට මහා බර දෙවල් එකතු කරල.සචිනි කියපු දේවල් ආයෙ ආයෙ මතක් කලාම මිලින්ද ගැන විතරක් නෙවෙයි මුලු පිරිමි සංහතිය ගැනම මහා අපුලක් වෙලාවකට නුරංගිගෙ හිත වෙලා ගත්ත.අවුරුදු ගානක් තමන් පන වගේ ආදරේ කරපු මනුස්සය...ඒ සමානම ආදරයක් තමන්ට පෙන්නපු මනුස්සය...තමන්ගෙ හැම ඕන එපා කමක්ම තාත්තෙක් වගේ  ඉටු කරල දීපු මනුස්සය වෙන ගෑනියෙක් එක්ක නිදාගෙන ඉදල ඇවිත් තමන්ටත් තුරුල් වෙනව කියන තිත්ත ඇත්ත නුරංගිගෙ මුලු ආත්මෙම අඩපණ කලා පැය ගානක් ඇඬුවට දෙඩුවට පස්සෙ ඇස් වලට උණපු කඳුළු ඇස් අස්සෙම වේලෙනකොට, මිලින්ද වෙනුවෙන් හෙලපු සුසුම් පපුව අස්සෙම හිර වෙලා හදවත රිදුම් දෙනකොට තට්ට තනියම බෝඩිං කමරේ තනිවුන නුරංගිගෙ හිතේ මිලින්ද ගැන තිබුන ආදරේ අනුකම්පාව විශ්වාසය ගැන හැඟීම් හිමි හිමිහිට හේදිල ගිහිල්ල  ඒ වෙනුවට තරහක් පිලිකුළක් නොරිස්සුමක් පලිගැනීමක් වෛරයක සේයාවක් හිතේ කොනක ලැගුම් ගත්ත.මිලින්ද වෙනුවෙන් ඇස් වලට උණපු අන්තිම කඳුළත් පිහිදල නුරංගි වැටිල හිටපු තැනින් නැගිට්ටෙ හෙටින් පස්සෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන තමන්ගෙ ජීවිතය ගැන අංශුමාත්‍රයක හැඟීමක් නැති ගානට.

                                         *     *     *     *     *     *     *    *

 සසංක කියන්නෙ පන්තියෙ හිටපු ජේත්තුකාරය ඒ වගේම සෙල්ලක්කාර සල්ලිකාරයෙක්.එයා කෙල්ලන්ව පාවිච්චි කලෙත් හරියට සෙල්ලම් බඩු වගේ.ඒ ඇස් බැල්මට අහුවෙච්ච කෙල්ලෙක් ගැලවුනේ එහෙමත් වෙලාවක.ඒ ඇස් වල නුරා බැලුම් නුරංගි දිහාට එල්ල වුනේ අදක ඊයක ඉදලත් නෙවෙයි.ඒත් නුරංගි මෙච්චර කාලෙකට සසංකව තඹේකට මායිම් කලේ නෑ.සසංකගෙ සෙට් එක නුරංගි ගැන කතා කලේ ලේසියෙන් වට්ටන්න බැරි පට්ට කෙල්ලෙක් විදියට.මිලින්දට රිද්දන්න සසංක තරම් හොද කෙනෙක් තවත් නැති බව පහුවදා පන්තියෙදි සසංකව දකින පලවෙනි තප්පරේදිම නුරංගිට හිතුන.නුරංගි ඕන කමින්ම ඒ දිළිසෙන ඇස් වල  සැරින් සැරේ පටලැවුන.ඇත්තටම ඒ ඇස් ළඟදි වෙලාවකට තමන්ව අයිස් කැටයක්  වගේ දියවෙලා යනව ඇයට දැනුන. තවත් වෙලාවකට ඒ ගිනි ගන්න බැල්මට තමන්ව දාලා පිච්චිලා අලු වෙලා යනව වගේ ඇයට දැනුන.සසංකගෙ අලුත්ම පෙම්වතිය වෙන්න නුරංගිට මහ කාලයක් කැපකරන්න උනේ නෑ.මුලින් මුලින් ඔහුගෙ  දෑත්  වලට හිර වෙනකොට මූණට  ඒ හුස්ම වැටෙන තරමට ළං වෙනකොට මිලින්දව මතක් වෙලා  නුරංගිගෙ පපුව හිර වුණා.ඒත් ඒ රිදුමට වැඩිය  ඇය සතුටු උනේ මිලින්දට එකට එක කලා කියන හැඟීමෙන්.

                    මිලින්දත්  පුරුදු විදියටම ආශා එක්ක එහෙ මෙහෙ ගිහින් සතුටු උනා.නුරංගි ළඟට ඇවිත් ලෝකෙ ඉන්න හොදම පෙම්වතා ආදරවන්තය  තමන් කියල හිතෙන විදියට හැසිරුනා. මිලින්ද ආශා ගැන යාන්තමින්වත්
නුරංගි ඉව නොවැටෙන විදියට ඉන්න හැම තිස්සෙම පරිස්සම් උනා.ඒත් නුරංගි එහෙම නෙවෙයි එයා ටික ටික මිලින්දට දැනෙන්න ඇරිය. උඹව මට වැඩක් නෑ කියන එක නොකියා කිව්ව.කොයි වෙලාවෙ හරි පුපුරන්න නියමිත ගිනි කන්දක රස්නය යට ඉදන් මිලින්දව ලෝදිය ගොඩකට තල්ලු කරන හැටි ගැන හිත හිත කුරිරු සතුටක් ලැබුව.

                                              *     *     *     *     *     *     *    *


නාන කාමරේ විසල් කණ්නාඩියෙන් පේන තමන්ගෙ උඩු කය දිහා නුරංගි බලන් හිටියෙ බොඳ වෙච්ච ඇස් වලින්.ගත පුරා උඩු දුවන නුහුරු කෙඩෙත්තු ගතියටත් වැඩිය ඈට දැනුනෙ ඇගේ ආත්මය කඩං වැටිච්ච වේදනාව.තව දුරටත් තමන් යුවතියක් නොවන බව සිහියට ආවම එදා මිලින්දව ආශත් එක්ක හෝටලේ ළඟ දකිද්දි වගේම කකුල් පන නැතුව ගියා. ඇස් වලින් වැහි ඇල්ලක් වගේ කඳුළු කඩන් වැටුන.ඒ කඳුළු නුරංගිගෙ නිරුවත් ළය මඬළෙ රිදෙනම තැන් සිපගෙන පහලට ගලන් ගියා.දුක හිතේ හැටියට ගලන් ගියාට පස්සෙ ඇගේ මුවට නැගුනෙ කුරිරු හිනාවක්. නුරංගි ඒ හිනා උනේ නුරංගිටමද , මිලින්දටද  එහෙමත් නැත්තන් ආශාටද  , සසංකටද කියල නුරංගිවත් දැනගෙන හිටියෙ නෑ.


                                            - නිමි -

Apr 2, 2018

ඉටිපහනක්දෝ මා !





උඹම අවුලපු
ගින්දරින්
පිච්චි පිච්චි
හොද ගානට
පත්තු වෙද්දි

මට

හැමදාමත් වගේ
අදත් උඹ
හීන් සීරුවේ
නිවිල ගිහින්..

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...