සඳට බැළුම් හෙලූ අය

Oct 2, 2017

ලේ පාට මතකය කඳුළකි !




(නිමිත්ත - හැරගිය පෙම්වතාගේ පතිනිය වන යුවතිය හැඩ කරන්නට මනමාලියන් අන්දවන්නියක් වූ ඇයටම  සිදුවීම )


සිහින් දෙනයන අඳුන් තවරා කොපුල්තල කුංකුම උලා
ලඳළු වන් ලා දෙතොල් සඟලද ඔබ කැමති පැහැයෙන් නෙලා
පලන්දා මුතුමාල හත රන් හවඩියද බඳ වට වෙලා
ඔන්න පෙම්වත ඔබේ සොඳුරිය මගේ දෑතින් හැඩ කලා

රාජකාරිය දේවකාරිය නිසා කඳුළක් වැටුන්නෑ
ඇගේ අත ගෙන පෝරුවට ඔබ නගින තුරු හිත රිදුන්නෑ
පලන්දනකොට මගුල් මුදු නුඹෙ ඇස් දෙකේ මම උන්නෙනෑ
පිරුවටය ඇගෙ බඳ වෙලද්දී අත ගැස්සුනේ ඇයි දන්නෙනෑ

පාරිශුද්ධම සහතිකේ මම ඇයට කලියෙන් නුඹට දුන්නේ
ජයමගුල් ගී නැතුවමයි රතු රෝස මල් පෙති රිදුම් දුන්නේ
බොහෝ කල් සුව වින්ද පසුවයි නුඹට මම පර මලක් වෙන්නේ
ඊට පස්සෙයි නෑඹුලේ කුළ කුමරියක අත සරණ යන්නේ

දැන් ඉතින් ඒ කතා මොකටද මගේ ඇස් මම සඟවගන්නම්
දෛවයේ සරදමක් විලසට අද දවසම මම ලියාගන්නම්
රක්ත වර්ණෙන්  දෙවෙනි ගමනට සරසවන්නත් ඇවිත් යන්නම්
ඔබේ මධුසම කලාපෙට මම එද්දි මගෙ හිත මරාලන්නම් 


(පසුගියදා පැවති ඉරිදා ලංකා පුවත්පත මගින් සංවිධානය කල ලංකා කවිමුතු මිණි තරඟයේ තුන් වෙනි ස්ථානය ලබාගත මගේ නිර්මාණය.)

17 comments:

  1. //පාරිශුද්ධම සහතිකේ මම ඇයට කලියෙන් නුඹට දුන්නේ
    ජයමගුල් ගී නැතුවමයි රතු රෝස මල් පෙති රිදුම් දුන්නේ
    බොහෝ කල් සුව වින්ද පසුවයි නුඹට මම පර මලක් වෙන්නේ
    ඊට පස්සෙයි නෑඹුලේ කුළ කුමරියක අත සරණ යන්නේ//
    හරිම ලස්සනයි. සංවේදියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතී ගොඩක්ම ඔබ වන් කෙනෙකුගෙන් ලැබුන මේ අගය කිරීමට

      Delete
  2. Replies
    1. හෑ .. මදි මදි හොදටම මදි මේ ලිඛිතා නෝනා මද ?

      Delete
    2. ඈ බොලව්... මොකද්ද දැන් මදිය කියන්නේ විසිල් පාරද?? මේ වගේ කවියක් කියෝලා කොහොමද යෝදියේ විසිල් ගහන්නේ..?

      කවිය නියමයි. විනිශ්චය ගැන සැකයක් නැහැ

      Delete
    3. අන්න එහෙම මොනා හරි කියන්න එපැයි

      Delete
    4. මොනා හරි?? මම ඉතින් කියනවා ඔබටුමීට මොනවා හරි වෙලාවක හැබෑට... ලියනවද නැද්ද අර කතාව??? ඔන්න මම නොකිව්වයි කියන්ට එපා!!

      Delete
  3. ඇතුලටම එබිලා බලනකොට සෑහෙන්න රිදෙනවා
    .....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් මේ වගේ කතා ඕන තරම් ඇති

      Delete
  4. ඒ මනමාලය හෙන රිස්ක් එකක් අරන් තියන්නෙ,කොහොමද මනමාලිව ජෝකර් කෙනෙක් වගේ අන්දල එව්වනම්.
    ජයග්‍රහනයට සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. ඔව් නෙ ඒ පැත්ත හිතුනෙම නෑනේ

      Delete
  5. කාලෙකින් දැකපු ලස්සන සහ සංවේදී නිර්මාණයක්. හැකියාව 100%

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතී ඉයන් මේ ඇගයීමට

      Delete
  6. ජයග්‍රහණ රැසටම සුභ පැතුම්. ඔය නිමිත්ත සෑබෑ නිමිත්තකින් ගත්තක්ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතී රස්ති... නැහැ මම දන්න කිසි කෙනෙකුගේ අද්දැකීමක්නම් නෙවෙයි.

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...