සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Jul 8, 2017

සමනල් හීන !




කවුරුහරි මගෙන් ඇහුවොත් ඔයාගේ ජීවිතේ ලස්සනම කාලෙ මොකද්ද කියල ආයෙ දෙකක් නෑ ගොඩක් අය කියනව වගේම ඉස්කෝලෙ කාලෙ තමා. මතක් කර කර සතුටු වෙන්න හිනාවෙන්න  දුක්වෙන්න ඒ අතීතෙ තරම් වෙන මොනම අතීත කාලයක්වත් ඉස්සරහින් තියන්න බෑ.පස්සෙ පහු කාලෙකදි ජීවිතේට ලැබුන නිදහස ඒ කාලෙදි තිබුනෙනම් නෑ තමා.විශේෂයෙන්ම මගේ පාසල් කාලේ ගෙවුනේ අපෙ තාත්තගෙ දැඩි නීතිරීති මාලාවක් උඩ.කොටින්ම අපේ තාත්තා එක්තරා ජාතියක හිට්ලර් පාලනයක් තමා ගෙනිච්චේ ඒ කාලේ.ඒකත් මේ වෙන මොකටවත් නෙවෙයි විරුද්ධ පාර්ශවය පිලිබඳව තමා ඔව් ඔව් ඒ කිව්වේ කොලු ගැටව් ගැන තමා. මට යාන්තන් අවුරුදු දාහතර පහලොව වෙනකොට වගේ අපේ තාත්තා අපේ නෑදෑයෝ වෙන පිරිමි ළමයි එක්කවත් ඇසුරට මාව යැව්වෙ නෑ.මට විතරක් නෙවෙයි මගේ අක්කාටත් ඒ සන්තෑසියම තමා. එයානම් ඒ කාලේ ගෙදර පොඩි පොඩි කැරලි දියත් කලා තාත්තට විරුද්ධව.හොදම යාලුවගෙ බර්ත්ඩේ පාර්ටි එකටත් ගේට්ටුවෙන් ඇතුලටම ඇරලවලා උපරිම පැය එකහමාරක් දීලා ගේට්ටුවෙන් එලියට වෙලා මුර දාගෙන හිටපු තාත්තෙක් මට හිටියේ.සමහර වෙලාවට යාලුවා කේක් එක කපලත් නෑ ඒත් මම යන්න ඕනේ.ඒ වෙලාවටනම් තාත්තා එක්ක මල යකා මට.තාත්තත් දන්නවා මම ඉන්නේ ඒ වෙලාවට උපරිම මලෙන් කියලා.ඒත් ඉතින් එයා එයාගේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ.එයා කරන්නේ ගෙදරට එන ගමන් ගල්කිස්සෙ ෆැබ් එකේ නවත්තල මම ආසම චොක්ලට් ගැටෝ එකක් අරන් දෙන එක.මගේම යාලුවො පවා මට නැති නිදහසක් ඒ කාලෙදී විදිද්දි සමහර වෙලාවට දුක හිතුනා උනත්. ඒවා කඩාබිඳගෙන යන්න තරම් හිඩැස් අම්මගෙයි තාත්තගෙයි ආදරේ මැද තිබුනෙම නෑ.

                        ඉතින් මේ ඉස්කෝල කාලේ ගැන එක පාරටම මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුනේ මේ ඊයේ පෙරේදා අහම්බෙන් හම්බවුන  පාසල් මිතුරියක් නිසයි.අපි ඉතින් උන් හිටි තැනුත් මතක නැතුව පැය ගානක් ඒ අතීතේ මතක් කර කර හිනා උනා.බාලිකා පාසලක  ඉගෙනගත්ත අපිට ඒ කාලේ සොඳුරුම වෙලාව උනේ බාලාංශ පන්ති ඇරෙන වෙලාව.වෙන මොකටවත් නෙවෙයි ඉතින් ඒ  නංගිලව ගෙනියන්න එන ලස්සන ලස්සන තාත්තලව බලන්න.පන්ති ඇරෙන වෙලාවට මොනවා හරි හේතුවක් හදාගෙන එළියට පනින්න අපි සැදී පැහැදී බලන් ඉන්නවා.හැබැයි ඉතින් අපි ඒ අසරණ තාත්තලගේ ඇදුම් ගැන කොණ්ඩ මෝස්තර ගැන එකී නොකී මෙකී සියලු දෙවල් ගැන කියපු දෙවල් අහන් හිටියනම් උන්දලා වහ කාලා මැරෙනවා.ඒ මොනව කලත් ඉතින් අපිට ඒ කාලේ අද කාලෙදී ඒ වයසේ ළමයින්ට නැති සංයමයක් තිබුනා.ඒ වයසෙදි තිබුන දඟකාර කෙලි කමට හොරෙන් බලල යාලුවො සෙට් එකත් එක්ක ඔය මොන මොනවා හරි කියල හිනාවෙලා ඒක එතනින් ඉවර කලා ඊට එහා ගිය සීරියස් කතන්දරනම් තිබුනෙම නෑ කවුරුවත් අතර.

                             ඉතින් ඔය හැම පන්තියකම ඉන්නවනේ එක එක විදියේ කට්ටිය එක එක කල්ලි වලට බෙදිලා. අපේ පන්තියත් එසේම තමා.ඔන්න එක කට්ටියක් ඉන්නවා එයාල තමයි පන්තියේ බ්‍රයිට්ම සෙට් එක ඉගෙනීම මිසක් වෙන මොලෝ දෙයක් නෑ.ටීචර්ලටත් හරිම හොද  සෙට් එක එයාලා.ඒ සෙට් එකේ අය තමා වැඩි පුරම ටීචර්ලට පන්දම් අල්ලන්නෙත්.තව කට්ටියක් හිටියා ඉගෙන ගන්නෙත් නෑ  වෙන කිසි දෙයක් කරන්නෙත් නෑ ඔහේ ඉස්කෝලෙ එන්නන් වාලේ ආපු කට්ටියක්.තව කට්ටියක් හිටියා ඉගෙනත් ගත්තා පිස්සුත් නැටුවා සෙල්ලනුත් කෙරුවා විෂය බාහිර වැඩ සේරම බදාගෙන කලා.ඉස්කෝලේ මොකක් හරි නසරානි වැඩක් කලොත් හැම පන්තියකින්ම වගේ ඔන්න ඔය කියන සෙට් එකේ අය තමා හිටියේ.හැබැයි මොනවා උනත් මේ කියන නසරානි සෙට් එකටත්  ටීචර්ලා හරි ආදරෙයි.වෙලාවකට අර බ්‍රයිටන්ව පෙන්න පෙන්න ආදර්ශෙට ගන්න කිව්වට එයාල දන්නව ඔය දඟමලු සෙට් එක නැතුව ඉස්කෝලෙට පැවැත්මකුත් නෑ කියල.අපේ පන්තියේ හිටියා ඔය දඟ මල්ල කියන කාඩ් එක වැදිච්ච අට දෙනෙක්ම. ආං .. ඒ අට දෙනාගෙන් කෙනෙක් තමයි මේ අහිංසක සඳවතියත්.අපි ඕ ලෙවල් කරන වයසට එද්දි අපේ නඩේ අට දෙනාගෙන් හය දෙනෙක්ම ආදරවන්තියො වෙලා ඉවරයි.මමයි තවත් එක්කෙනෙකුයි විතරයි ඇබෑර්තු ඇතුව හිටියේ.හැබැයි ඒ ඇබෑර්තුව පුරව ගැනීමෙ ඕන කමක් මට ඒ කාලේ තිබුනෙම නෑ.ඉස්කෝලේ මොන තරම් දඟකාර චරිතයක් උනත් පිරිමි ළමයි ළඟදි මම බොහොම නිශ්ෂබ්ද සංසුන් චරිතයක්.එයාල එක්ක විහිලු තහලු කරගෙන එල්ලි එල්ලි යන පුරුද්දක් මට තිබුනෙම නෑ. කවදාවත් පිටිපස්සේ ඉදන් සූ.. සූ.. කිව්වට නිකමටවත් හැරිල නොබලපු මට ඒ දවස්වල කොල්ලො කිව්වෙ මම යන්නෙ අඩියක් උඩින් කියල.ඒත් ඉතින් මම නෙවෙයි ඔය කියන කතා වලට සැලුනේ.මට මතක විදියට ඔය  කාලෙදී මට මුල්ම ප්‍රේමාරාධනාව ලැබුනෙත්  අපේ අටේ කල්ලියෙ හිටපු  රෝශිනිගේ නැන්දගෙ පුතාගෙන්. උන්දා අපි කට්ටිය ඉන්න  ෆොටෝ එකක් දැකලා මගේ යාලුවට කිව්වලු මාව කොහොම හරි යාලු කරලා දෙන්න කියලා.ඒකිත් බොහොම මනාපෙන් හිටියා මාව අයියට යාලු කරලා දෙන්න . ම්හ්හ්... මම නෙවෙයි ඉතින් ඒවට අහු උනේ.

                      1.30 ට ඉස්කෝලෙ ඇරිලා ගල්කිස්ස හංදියට යනකොට පිරිමි ඉස්කෝල තුනකම කොලු කුරුට්ටො හංදිය බදු අරන් ඉන්නේ.ගල්කිස්සෙ ඉස්කෝල විතරක්නම් බැරියැ මොරටුවෙ සෙබස්තියන්, වේල්ස් කුමාර උන්දලත් මෙහෙ. එයාලා ඉතින් 1.30 ට ගල්කිස්සෙ ඉන්නේ ඉස්කෝලෙන් ශෝර්ට්ලීව් දාලා තාප්පෙන් ඇවිල්ලා වෙන්න ඕන. ඉතින් ඔය පිරිමි අන්ත:පුරය මැද්දෙන් ඒ වෙලාවට බාලිකාවියන් රංචු රංචු යනවා කියන්නේ හයියූ... කියලා වැඩක් නෑ.දාහක් උසුළු විසුළු හිනා කතා මැද්දෙන් හිනාවක සේයාවක්වත් නැතුව ඇස් බිමට හරෝගෙන හංදිය පහු කරනවා කියන්නෙ ලේසි පාසු වැඩක් නෙවෙයි. මේ මං කියන සඳවතී අන්න එහෙම ගිහින් වාර්ථා තියපු එකියක්.බොරු කියන්නෙ මොකටද ඉතින් සමහර ලස්සන උස හාදයො ළඟදි පොඩ්ඩක් කකුල් පැටලුනා හිත එහෙ මෙහෙ උනානම් තමා.ඒත් ඉතින් එව්ව දන්නෙ මමයි මගේ හිතයි විතරමනෙ  ඒ නිසා අවුලක් නෑ. ගල්කිස්ස හංදියේ ඒ කාලේ ඉදලා තියෙනවා අනංග රාජයෙක්.ඉස්කෝලෙත් කියන්නම්කො ආයෙ මොකටද ඒක නොකියා ඉන්නෙ. සයන්ස් කොලේජ් එකේ තමා මේ අනංගයා.කෙල්ලො දැලෙ දාගන්න නම් දරාපු හාදයෙක්ලු.එයාගෙ විනෝදාංශය යාලුවෝ චැලෙන්ජ් කරනවාලු කෙල්ලෙක් පෙන්නලා පුලුවන්නම් මෙයා එක්ක යාලු වෙලා පෙන්නපන් කියලා.එයා කොහොම හරි ඒ කෙල්ල එක්ක යාලු වෙලා පෙන්නනවලු. අනේ දෙයියනේ මෙන්න මේ සඳවතිවත් ඔන්න ඔය කියන  අභියෝගයේ පටලවලා අර අනංගයාගේ ඇස් වලට කොටු කරලා තියෙනවා ( ඒ කාලේ  මෙයා අනංගයෙක්ද මෙයා මේ චැලෙන්ජ් එකකට මගේ පස්සෙන් එනවද ඒ මුකුත් මම දන්නෙ නෑ  ඒවා දැන ගත්තෙ ඉස්කෝලෙන් අවුට් වෙලත් කාලෙකට පස්සෙ ) ඒ පෝරිසාදයා මගේ කැමැත්ත ගන්න මාස හත හටක්  පුදුම කට්ටක් කෑවා.එයා සැලුනෙත් නෑ මම සැලුනෙත් නෑ.මුලින්ම කලේ යාලුවො රොත්තක් පිරිවරාගෙන  ගෙවල් ගාවට වෙනකන්ම විහිලු කර කර පස්සෙන් ආපු එක.ඊට පස්සෙ දවසක   නංගි මම ඔයාට කැමති ඔයා මට කැමතිද කියල පාර හරස් කරලා මූණ ඉස්සරහට ඇවිත් ඇහුවා.මම  ගත් කටට නෑ කියලා පන කඩාගෙන  දිව්වා.ඔය ඉස්කෝලෙ යන දවස් පහෙන් දවසක් නැත්තන් දෙකක් තමා මට තනියම නිදහසේ ගෙදර එන චාන්ස් එක හම්බුනේ ගොඩක් දවසට තාත්තා  ඉස්කෝලෙ අරින වෙලාවට ගේට් එක ළඟ මුර දාගෙන හිටියා.ඉතින් මට තිබුන එකම බය මේ නාම්බා හින්දා මට ඒ තරමටවත් ලැබිල තිබුන පුංචි නිදහස නැති බංගස්තාන වෙයි කියන එක.

                   මොකද එයා එතනින් නතර උනේ නෑ එක දවසක් හැන්දෑවක ඉස්කෝලෙ ටිකට් පොතකුත් අරගෙන ගෙදරටම ආවා ටිකට් විකුණන විදියට.ඒ එනකොට අක්කයි මමයි හිටියෙ බැට්මින්ටන්  සෙල්ලම් කර කර. තව දෙතුන් දෙනෙකුත් එක්ක මේ කොල්ලා ඇවිත් ගේට් එක ගාව නැවතුනම  මට හීන් දාඩිය දැම්මා.තාත්තා ඇවිත් ටිකට් තුනක්ම ගත්තා.මම දැන් කකුල් පන නැතුව මාව වැටෙයි වැටෙයි කියල හිත හිත තක්බීර් වෙලා හිටිය.එදා වෙච්ච එකම හොදේ මේ තමයි මම කිව්වා එකා කියලා අක්කට ඒ කොල්ලව පෙන්න ගන්න ලැබිච්ච එක. අපොයි ඔය වගේ මාස හත අටක්ම ඒකා මහ එපා කරපු තක්කඩි වැඩ කලා. ඒත් පින්වතුනි අන්තිමට එයා පරාජය බාර ගත්තා.මේ  පිස්සු හැදෙන සඳවතී එයාට අහු උනෙත් නෑ.ඔහොම ලෙවල් එකෙන් හිටපු සඳවතී හැබැයි ඉස්කෝලෙ කාලෙදී එකම එක ඇස් දෙකක් ළඟදි අසරණ උනා.ඒක උනේ මෙහෙමයි  ඉස්කෝලේ Interact Club එකේ මම  මෙම්බර් කෙනෙක් වෙලා හිටියා.තෝමියන් එකයි අපියි එකතු වෙලා ඔය  Club එකෙන් ගොඩක් වැඩ කලා.ඉතින් සතියකට දෙකකට පාරක් සිකුරාදා ඉස්කෝල් ඉවර වෙලා එයාලගෙ  ක්ලබ් මෙම්බර්ස්ලයි අපියි එකතු වෙලා මීටිමක් තියනවා.දවසක් ඕකට ආවා අඩි හයක් විතර උස නලු පෙනුමක් තියෙන හැන්ඩි කොල්ලෙක්.මගේ හිතට හීනියට මොකක්දෝ උනා එයාව දැක්කම ඒත් ඉතින් මම එයාව සත පහකට ගනන් ගත්ත බවක් ඇගෙව්වෙ නෑ. හැබැයි ආව වෙලාවෙ ඉදන් එයාගෙ ඇසුත් මගේ වටේ කැරකෙනවා කියල මට තේරුනා.අලුතින් මෙම්බර් කෙනෙක් ආවම  එයාගෙ නම කියලා එයාව හැමෝටම අදුන්වලා දෙනවනෙ අන්න එතකොට තමයි මම දැන ගත්තෙ එයා ටැමිල් කියල.ඇත්තමයි හිතට මොකද්දෝ උනා. ඉංග්‍රීසි වගේම සිංහලත් බොහොම චතුර විදියට කතා කරපු  එයාට හරිම ලස්සන කටහඬක් තිබුනා.එදත් එයා සින්දුවක් කිව්වෙ අපේ කෙල්ලො සේරම පිස්සු වට්ටලා.ඔව් මට මතකයි එදා එයා කිව්වෙ
Bryan Adams ගේ  Everything I Do ...I Do It For You.....

           එදායින් පස්සෙ එයා හැමදාමත් අපේ ඉස්කෝලෙ මීටින් එකට ආවා... ඇවිත් සින්දුත් කිව්වා.. මං එක්ක වැඩිපුර  කතා කරන්නත් උත්සහ කලා...පහු වෙනකොට මුලු ක්ලබ් එකේම උන් දැන ගත්තා එයා මං ගැන උනන්දුයි කියලා.එහෙන් මෙහෙන් අපි දෙන්න ගාවල කට්ටිය විහිළු කතා කිව්වා ඒ හැම දේකටම මම හිනා වෙලා නිහඬ උනා.ඔව් ඔව් මේ මෙතෙන  කතා කරල තියෙන්නෙත් එයා ගැන තමයි.ඒක කියවපු අය ඉතින් දන්නවනෙ මගේ ඒ පාසල් ප්‍රේමයටත් උනේ මොකද කියල.ඉතින් ඔන්න ඔහොමලු උනේ අප්පා. තව ලියන්න කම්මැලි වගේ.ඒ නිසා මේ ඇතිලු හොදේ.

    


25 comments:

  1. බලන් ගියාම කෙල්ලොත් හරි කැතයි නේ ? පොඩි ළමයින්ගේ තාත්තලව බලාගෙන ඉන්නේ :)
    පාසල් කාලය හරිම සුන්දරයි ඇත්තටම අදටත්

    ReplyDelete
    Replies
    1. කැත නෑ අනේ ඒ වයසේ වැරද්ද

      Delete
  2. ලියන්න කම්මැලිවුණත් කියවන්නනම් කම්මැලිකමක් නෑ සඳූ.

    ජයවේවා!!!

    ReplyDelete
  3. Replies
    1. ඉයාව්... ඔය තෝමියන් කියන්නේ ගල්කිස්ස තෝමියන්ද ??? ඉයාව්!!

      Delete
    2. අම්මියෝ......! සලබලාන්.... දඩින් බිඩින් ඩොන් !!!!

      අපිවත් මෙව්වා වෙනවා ඒ ඉස්කෝලේ කිව්වහම...

      Delete
  4. නියමයි. බලාගෙන ගියාම කොල්ලොන්ට හපන්නෙ මුන්.

    ReplyDelete
    Replies
    1. හි හී එහෙමද හිතෙන්නෙ

      Delete
  5. මදි මදි හොඳටම මදි....

    ReplyDelete
    Replies
    1. මදි නෑ අනේ මේක කියවලා මේ දීල තියෙන ලින්ක් එකටත් ගිහින් බලන්න

      http://kavisandalla.blogspot.com/2012/09/blog-post_19.html

      Delete
  6. ඔයා කියුව වගේ ඉස්කෝලෙ කාලෙ තරම් සුන්දර කාලයක් ආයෙ නෑ...
    මාත් හිටියේ ඔය තුන්වෙනි කොටසෙ තමයි... මුර අප්පා ඒ කාලෙ...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. ස්තූතී නිර්මාණි

      Delete
  7. හම්මේ ඉතිං මාත් ඔය වගේ ගැන් එහෙක සාමාජිකාවක් අනේ. හැබැයි ඉතිං වෙනස අපිට සෙට් වෙච්ච කොල්ලෝ රංචුවකුත් හිටියා. වැඩිපුරම සෙට් වෙන්න හේතුව පහළ පන්ති වල නංගිලාට ලිව්ව් අරන් යන්න එහෙම තමයි. හැබැයි දුකටයි සැපටයි ගුටි කන්නයි එකටම හිටපු සෙට් එකක්. මට ආයෙත් ඒ අතීතය මතක් උනා සඳු ගේ ලියවිල්ල හින්දා. මේ ලියවිල්ල මරු අතීතයට අරන් ගියා

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් එහෙම කාලායක් ආයෙ කවදා ඒවිද නේද

      Delete
  8. මුල ටික කියවනකොට හිතුනෙ සඳවතී දැඩි නීති නිසා ශාන්ත දාන්ත ළමයෙක් වෙන්ඩැති කියල.

    ReplyDelete
    Replies
    1. මොන නීති දැම්මත් යෞවනයේ පොපියන චමත්කාරයට බැරියර් දාන්නෙ කෝමද අප්පා.ශාන්ත දාන්ත නොවුනට මම ඉතින් අපේ තාත්තට ඕන විදියට හිටියා.

      Delete
  9. තාත්තනම් එහෙම කරන්න ඇත්තේ දුවගේ හැටි දන්න නිසා වෙන්න ඇති....

    ගෑණු ළමයි සම්බන්දෙයෙන්නම් මටත් තිබ්බේ මහා කුජීත ඉතිහාසයක් ඉස්කෝලේ කාලේ . 11 වසරේ ඉඳලා ගෑණු ළමයි දහතුනකගෙන් යාලුවෙන්න ඇහුවා. එකෙක්වත් කැමතිවුනේ නෑ. ඒ තරම් හොඳ අක් තිබ්බා ඉස්කෝලේ ඇතුලේ.

    ReplyDelete
    Replies
    1. හි හී නෑ අනේ මම එහෙම නරක ලමයෙක් නෙවෙයි...ඒත් එයා අපිව පුදුම විදියට පරිස්සම් කලා.ඒක මමනම් අනුමත කරන්නෙ නෑ

      Delete
  10. ඉස්කෝලේ කාලේ ආලේ... මට ද ඔය කාලේ ගැන මාර එක්ස්පීරියන්ස් ඇත්තේය

    ReplyDelete
    Replies
    1. ඉතින් එව්වා එකක් දෙකක් අපිටත් කියන්නකෝ බලන්න

      Delete
  11. සදූගෙ පෝස්ට් එහෙකුත් මග හැරිලානෙ අප්පා මට.....
    පාසල් සමය කියන්නෙ මම විදපු පට්ටම කාලයක්. ඒ කාලෙ තිබ්බෙ පුදුම නිදහසක්,,,,
    අපේ ඉස්කෝලෙ මික්ස්. ඒ ලෙවල් වලදි උදේ පාන්දරම මගේ හොදම යෙහෙළියො දෙන්නා කරන්නෙ මිස් කෝල් ගහලා අපිව ඇහරවන එක. අපි කිව්වෙ මායි මගෙ ගෙවල් ලග අනිත් යාළුවයි. ඉස්කෝලෙ යන්නෙ 7.30ට උදේ රැස්වීම ඉවර වුනාම තමයි ගේට්ටුවෙන් ඇතුලට යන්නෙ. දවල්ට කන්නෙ කෙල්ලොන්ගෙ කෑම. අපේ පන්තියෙත් කෙල්ලො කොටස් තුනකට වගේ හිටියේ. වෙනම කල්ලි. ඒත් ඔය කල්ලි දෙක තුනේමයි, තනි තනියම කන කෙල්ලොන්ගෙ කෑමයි ඔක්කොම අපිට විවෘතයි. එහෙම නොකෑවොත් ඉතින් ඇනුම් පද.... අපි කෑමට ගේන සල්ලි වලින් කවදාවත් වියදමක් නෑ. ඒවා එක්කවු කරලා කරන්නෙ බොන්න සෙට් වෙන එක, ඒ කාලෙ බියර් පොඩි කෑන් එකක් 120යි. සතියකට දෙතුන් පාරක්වත්වත් සෙට් වෙනවා. ඉස්කෝලෙ හැමදාම එනවා පන්තියෙ හිටියෙ කොල්ලයි දෙකයි. අනිත් එවුන් එලියෙ. හැබැයි අපි එහෙම බීලා කෙල්ලෙක්ට හව්වෙනවට වඩා හොදයි පිනාට හව්වෙන එක. මොකද එච්චර බැදීමක් තමයි අපි අතර තිබුනේ(ඒ යාළුකම් තාමත් එහෙම්මයි)

    ReplyDelete
    Replies
    1. මිශ්‍ර පාසල් වල අත්දැකීම් අපි ලබපු අද්දැකීම් වලට වඩා හරිම වෙනස් නේද?කොල්ලො කෙල්ලො එකට ඉගෙන ගන්න එකත් හරි ජොලි වැඩක් තමයි.

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.