සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Jun 25, 2017

රයිටර්ට කමෙන්ට් කවි !




ඔය බුකියේ  පැතුම් බණ්ඩාර ඉන්නවානේ කට්ටිය එයාව දන්නේ රයිටර් කියලා. ඔව් ඔව් බ්ලොග් එකකුත් තියෙනවා සිතුම් පැතුම් කියලා ඉස්සර බොහොම ජයට ලියවෙච්චි බ්ලොග් එකක් තමා ඔය.දැන්නම් වල් වැදිලා.

බ්ලොග් එක පැත්තක දාලා එයා දැන් බුකියේ බොහොම අපූරු කවි වගේ එව්වා ලියනවා.වැඩි හරියක් ඉතින් ප්‍රේමය ශෘංගාරය ගැන තමා.ආදරවන්තයින් , විවාහ උන අඹුසැමි යුවළවල් අතරේ හුවමාරු වෙන ප්‍රේමයේ බොහෝ ඉසියුම් තැන් අරගෙන එයා හිතා ගන්නවත් බැරි විදියේ ආදරණීය කවි ලියනවා. ඉතින් ඔහොම එව්වා දැක්කම මේ මම වගේ අයටත් නිකන්නම් ඉන්නම බෑලු. ඉබේම කවි ලියවෙනවා.ඉතින් අන්න එහෙම රයිටර්ගේ මම කැමතිම කවි කිහිපයකුයි ඒවාට මම ලිව්ව කමෙන්ට් කවියි තමා අද මේ තියෙන්නෙ.

 
සුප්‍රේමවන්තය,

ඔබ දල්වා නිවා ගිය,
සිගරට් කොට
ෆිල්ටර අගින්,
යළි යළිත් දැල්වෙයි
ප්‍රේමය !

දැවීගිය ඔබෙ
හාදුවක රස,
යළි යළිත් මතුවෙයි,
දෙතොල් සලකුණු රැඳි,
විස්කි බඳුනත,

බොහෝ ඇවිටිලි කර
ගෙන්වා ගත්
කමිසයක සුවඳින්,
පිරියයි මා ළය
අඳුරු ලෙන් කුහරද,

ඔබ ඉතිරි කර ගිය
ශේෂ මධු බඳුනට,
පවරා බාර කරනෙමි
රැයකින් ඉතිරි හරි අඩ - පැතුම් බණ්ඩාර ( රයිටර් )

සුදේහිනිය...

ඔබේ මුඳු හාදු
දහසකින්
මන්මත්ව
තාමත් සිහිවිකල්ලෙනි
මා මනස් විල

දෑ සමන් මල් සුවඳ රැදි
ඔය දිගු වරල්
කෙහෙ රොදක
යලි යලිත් පැටලැවෙයි
මා හද නිරන්තර

සියුම් පිරිමැදුමකින්
අවදිවුණ
රණ තිසරු නැගූ ඒ
නුරා හඬ
නින්නාද දේ සවනත
ආශාවේ හීගඬු නංවන

එකී ප්‍රේමයේ
උත්කර්ශයේදී
ඔබ සපා කෑ උර බාහුවක
ලේ සලකුණ
ඉතින් තනි මකාවී
මේ රැයේ ඉතිරි හරි අඩට...
- (සොඳුරු සඳවතී )





ඉතින් ඔබ,
අදින් මතු
රැකගත යුතුය,
එ'දෙතොල් පෙති
තබා මුදු හාදු නිති,

හොවා හිස
ළය තුර,
සෙමින් පිරිමැද
කෙහෙරැළි,

ඈ සැනසවිය යුතු,
ඈ අස්වැසිය යුතු,
මුවින් නොබිණෙන
නෙතින් පමණක් ඉඟිලන,
සියක් කැල්මන්
ඈ සතුව ඇත,

ඔබම වටහාගෙන
දැන හැඳිනගත යුතු,
ඇගේ අත හිමි
"නාන්නාඳුනන හිතවත",

මා නැති අඩුව
ඔබ,
මින් මතුව
පිරවිය යුතු,

ඒ දෙනෙත්
සුරැකිය යුතු,
කඳුළු අමතක කර,
සිනා මල් දෙතොලග
පළඳවාලිය යුතු,
ඇගේ හද දිනිය යුතු...!  - පැතුම් බණ්ඩාර ( රයිටර් )


මා ප්‍රියම්බිකාවගේ
පෙර
සිත් ගත් පෙම්වත !

ආදරය කලානම්
අත නොහැරිය යුතු
දිනන තුරු සටන් කල යුතු !

එම්බා ජඩය !
තා දැන ගත යුතු

ඈ අතැ'ර දැන්
සෝක කවි නොලිය යුතු
ඈට හාදු දෙන ,
ඈ රකින සැටි මට කියා නොදිය යුතු !

මා ඈ රකින හැටි ,
ඈ මා හා ප්‍රේමයෙන් වෙලෙන හැටි
තා දැකිය යුතු !

ඒ විස්සෝපයෙන්ම තා
මෙයින්මතු
දිවි ගෙවිය යුතු !
  -  (සොඳුරු සඳවතී )                                                       


අඩක් බී අවසන්
ඇල් කෝපි බඳුනක,
ඔබෙ දෙතොල් සලකුණු
සොය සොයා වෙහෙසුණ හවසක,
පුපුරා ගියේ ළය මතිනි පළමුව
එ'ප්‍රේමයෙහි සොමි අකුණු සර,

කන්තෝරු කාමරය අස,
පොත් මේස දෙක
කෙළවරම කොණ,
අඳුරු පටු තැනදිය ඔබ,
කියා දුන්නේ මට
හාදුවක උපරිමම රස,

උඩරට විසූ
කුල කුමරියක හිත,
පාවා දී තිබුණූ බැවින්
පළඳවා මංගල
මුදුද අත,

"පුද්ගලික ලේකම්"
තනතුරම මිස,
උසස් වීමක්
ලද නොහැකි විය
"බිරිඳක" ලෙසින් මට  - පැතුම් බණ්ඩාර ( රයිටර් )


සීත කල කාමරේ
දොර දාර අගිස්සෙන්
කඩා පනිනකොට මුඳු
කොලෝන් සුවඳ
දනිමි ඊළඟ නිමේශය
ඒ වටකුරු දෑස් අස
මා අතරමං වෙන මොහොත බව...

බොහෝ හෙමිහිට ගලපන
හරි අපූරු ගැහැණු කම් ලඟ
කුමට බැඳුනිදැයි නොදනිමි මා අත
අන් සුරතක ඔබ හමුවන්නට පෙර...

යතුරු පුවරුව මත
හැල්මේ දිවෙන දෑඟිලි
වෙව්ලවා මොහොතකට
අතරමඟ නවතින
ඒ' මොහොත තමයි
ඔබෙ සුවඳ මට
හරි ළඟින් දැනෙන...

අඳුරු කල රිය කවුළු මැද
විඳිනකොට ඔය දෙතොල සුව
බුර බුරා නැගෙන මා හද
ප්‍රේමයේත් අනුරාගයේත්
එකම එක අයිතිකාරිය
ඔබම පමණක් බව
යලි යලිදු යලි යලිදු
දිවුරා කියමි මම ...
- (සොඳුරු සඳවතී )         

                                             



අතොරක්
නැතුව කියවන,
සොඳුරු
කං කරච්චලයකි,
ඔබේ මුව...

හදිසියේ
කඩා පැන,
බදා තුරුළට ගෙන,
සෙමින් දිගු
හාදුවක් මුව,
අතුරන එකයි
විසඳුම...

උණුසුම් හද
ළමැද පහසින්
මිදෙන්නයි මට,
ඉන් පසුව
අපහසු.. - පැතුම් බණ්ඩාර ( රයිටර් )


සතියකට පසු එළැඹි
සොඳුරු හමුවකි
අද ඔබේ හා මා
ඉතින් ,
ගිරවියක් සේ දොඩමලුය
මා ඔබ අස...

ඇසිපියකුදු නොහෙලා
අඩ සිනහ මුව රදවා
අනිමිසයකි ඔබ මා
දෑස මතම..

සැනින් දිඟු දෑඟිලි
තමා මා මුව මත
ෂ්..ෂ්..ෂ්.ෂ්..හඬින්
නිසොල්මන් කර හාත්පස..

ඉතින් ,
ඔය තැඹිලි පැහැ තොල්
මා මුව මත
සිර කරන තත්පරය තමයි
මට මගේ හුස්මද අමතක වන   - (සොඳුරු සඳවතී ) 




නොදැනුවත්කමින්
බොත්තමක්
ගිලිහුණ,
ඔබේ අත් නැති
සුදු හැට්ටයෙහි,
පුළුල් කර අතරින්
මා නෙතු,
කිමිද ගිය වග
හැබෑවක්...

සත්තටම එය,
අකු අස්ථි තලා
නිම් මඩලෙහි පිපි,
ගෝමර මල්
කිණිත්තක්,

රහස් බැල්මකින් නෙලා
සිපගත් බැවින්,
එ'මල් පෙති
කිහිප සැරයක්,

ම'ළය පෙඟී,
දැදුරු වී ඇති බවට,
තවමත් ඔබ
නොදත් රහසක්....!
- පැතුම් බණ්ඩාර ( රයිටර් )


අහම්බෙන් විවර උන
ළැම බෙදුම මත
විනිවිදින ඔය ඇස් දෙක
අල්ලා ගතිමි මම
එකම එක තප්පරේකට...

දඟකාර කමක් මිස එ'ඇස් වල
දුටුවෙ නැති හින්දාම
රුදු සලෙළ බව
රතු උනා මා ගතම
නුහුරු හැඟුමකට...

විලිබරව තිගැස්සෙන
ළැම පොට්ටු මත
වෙහෙසන්න එපා
ඔය හැටිම ඇස් දෙක
ඔබ හොරෙන් නෙලා ගත්
ගොමර මල් වල
අයිතිකරු ඉන්නවා
මගේ වම් පස...  - (සොඳුරු සඳවතී ) 

Jun 18, 2017

කවියක් හා සරණ ගියෙමි !




ප්‍රේමයේ ඉ'සියුම්ම තැනක්
හරි අපූරුවට
කවියකින් පිරිමදින
නුඹ
රහසේම ගෙනා ප්‍රේමාරාධනා ගැන
සත්තමයි මහා හිරිවැටුමකිනි
මම ,

නුඹ
සිතින් නග්න කල
ස්ත්‍රී රුවක වරුණාව
වදනින් වදන ගලපන සඳ
සත්තමයි
එ' කවි කියවන හැමට වඩා
මහා නොඉවසිල්ලකිනි
මතු අනාවේ අපේ මධුසමය ගැන
මම ,

ඉතින්
මා කවිකාර හිමි සඳ
අදයි අපි අපේ වූ ඒ දින....

නුරාවෙන් හිස් වෙච්ච බඳුනක
මත් වතුර පිරී ඇත කර වට
මා මෙතෙක් නොදුටු නව කවියක
පද මැවේ එලිසමය එලිවැටද  පැටලුන

මධු සඳත් නිවෙන්නට අහවර
කෝ කොහිද හොයනවා පොඩි වෙච්ච මල් පැස
රැල්ලක්වත් නොනැගි සුදු පිරුවට
අහනවා කෝ නුඹේ ශෘංගාර  කවිකමේ සාක්ෂිය ....?

Jun 12, 2017

මේ ප්‍රථම වසන්තයයි 2




මේ ප්‍රථම වසන්තයයි 1 ( කලින් එක නොකියවපු අයට )




මතකද අපේ කතාව ...? අර මම කිය කිය හිටියෙ... කෝ එදා ඉවර කරන්න බැරි උනානේ... ඉතින් අද ඔන්න ආයෙම ලියන්න පටන් ගන්නවා හොදේ.

පන්සලේ බුදු මැදුරට වෙලා මම හිටියෙ තෝන්තුවාවෙන් වගේ.ආපහු ඔයාගෙ ඇස් දෙක දිහා බලාගෙන කෙලින් කතා කරන්නෙ කොහොමද කියල මට හිතා ගන්න බැරි උනා.එදා වෙච්චි හැමදේම අමතක කරල ආයෙත් කලින් වගේම ඔයා එක්ක හොද යාලුවෙක් වගේ ඉන්න මට බැරි ඇයි ...? මම මගේ හිතෙන්ම ප්‍රශ්න කලා.ඒකට මට මගේම හිතින් ලැබුනෙ බොහොම පැහැදිලි උත්තරයක්.ඒ මම ඔයාට ආදරේ කරනව.යාලුකමට එහා ගිය  මහා ලොකු ආදර හැඟුම් සමුදායක් ඔයා ගැන මගේ හිතේ තප්පරෙන් තප්පරේට ගොඩ ගැහෙනව.අදින් පස්සෙ උදා වෙන හැම දවස්කම ඒ ආදර කැක්කුම හිතේ හිර කරගෙන මට ඔයා ඉස්සරහ රඟපාන්න වෙනව.ඒක සුළුපටු විඳවීමක්ද....? සමනළියක් වගේ සැහැල්ලුවෙන් හිටපු මට මේ දේවල් දරාගන්න පුලුවන් වෙයිද...?  පුංචි කාලෙ ඉදන්ම අනුන්ට අයිති පෑනකට පැන්සලකටවත් ලෝබකම් නොකරපු මට අන්තිමට අනුන්ට අයිති කෙනෙකුට හිතින් මැරි මැරී ආදරේ කරන්න වෙන තැනට මගේ දෛවය මාව ගෙනත් ඇරලුවෙ  මොන හිතකින්ද ...?උකුළ උඩ තිබුන ෆෝන් එක ආයෙමත් රින්ග්ස් යද්දි මාව ගැස්සුනා.ආයෙමත් ඔයා මම ෆෝන් එක ආන්සර් කරල කම්මුලට තද කරගත්ත.

මම ඇවිත් ඉන්නෙ බබෝ.. ඔයා පාරට එන්න..පන්සල ඇතුලට එන්න පුලුවන් මානසික මට්ටමක මම නෑ...කෝ ඉතින් ඉක්මනට එන්න හොදේ...

ඔයා එක හුස්මට කියවල ෆෝන් එක තිබ්බා.ඔයා එහෙම කිව්වට මට එහෙම නැගිටලා දුවගෙන එන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.ඇත්තමයි මගේ කකුල් විතරක් නෙවෙයි මුලු ඇඟම හිරි වැටීගෙන යනව මට දැනුන.හරියටම මීට දවස් දහතුනකට කලින් ඔයා එක්ක කතා කරපු ඔයා ළඟ සැහැල්ලුවෙන් හැසිරුනු විදියට ආයෙමත් ඔයා ළඟ හැසිරෙන්න බෑ කියලමයි මගේ හිත මට කිව්වෙ.හෙට අනිද්දා එක වහලක් යටට යන්න හීන මවන පෙම්වතියක් ඉන්න පෙම්වතෙක් හැටියට ඔයාට  කෙල්ලෙක්ගෙ උණුහුමක් දැවටුමක් නුහුරු වෙන්න විදියක් නෑ ඒ නිසාම ඔයාට එදා සිද්දිය මහා ලොකු දෙයකුත් නෙවෙයි වෙන්න ඇති. ඒත් මට ඒක එහෙම නෙවෙයි.තාත්තගෙයි මල්ලිගෙයි ආදරය උණුහුම ඇරුනම ඒ තරම් ළඟින් ළඟින් මම ඒ පිරිමියෙකුගෙ සුවඳ වින්දාමයි.අපි මොන තරම් හොද යාලුවො උනත් කොච්චර හමුවෙලා කතා කලත් කොච්චරක්නම් ළඟින් හිටියත් ඒ වෙනකොට ඔයා යාලුවෙක් හැටියටවත් මගේ අතකින්වත් අල්ලලා තිබුනේ නෑ වැරදිලාවත්.එහෙව් ඔයාගෙ පපුවට හිටි හැටියෙ තුරුල් වෙන්න ලැබුනම කෙල්ලෙක් හැටියට මම ඒක කොහොම අමතක කරන්නද... දරාගන්නද... ඒ විතරක් නෙවෙයි අහම්බයකින් හරි  හා හා පුරා කියල එහෙම තුරුළු වෙන්න සිද්ද උනේ අයිතියක් කියන්න බැරි පපුවකට කියල දැනෙද්දි හිතට එන හැඟීම් වාවගන්නම බෑ.ඒත් ඉතින් දැන් මම ඔයාට මුහුණ දෙන්නම ඕනෙනෙ.මේ මොහොත මඟහරින්න විදියක් ඇත්තෙම නෑනේ.

 පිල්ලෑව පන්සලේ වෙල මැදින් පාර දිගේ මම මඟක් දුරට යනකොට ඔයාගෙ දඬුමොණරෙ මගේ ළඟට ඇවිත් නැවැත්තුව.

හනේ අම්මේ ... පාරට රිදෙයි කියලද ඔච්චර නැළවි නැළවි ඇවිදින්නේ...

හෙල්මට් එකවත් ගලවන්නෙ නැතුව ඔයා කතා කලේ අරම දෙයක් අපි අතර වෙන්න කලින් තිබුන ඒ දඟකාර සැහැල්ලුවෙන්මයි.ඔව් එයා හොදින් එක අතකට මට තමා පිස්සු.ඕනෙ නැති මනස්ගාත සේරම මගේ ඔලුවෙ.මගේම කකුල් වල ඇඟිලි දිහා බලන් උන්න මිසක් මම ඔලුව උස්සල ඔයා දිහා බැලුවෙවත් නෑ.

ඔන්න ඉති... ඔහොම ඉන්න එපා ගල් ඉබ්බි වගේ.. කියන්න බබා අපි මොකද කරන්නේ ?

මං ගෙදර යනවා...

මම එහෙම කිව්වෙත් වෙල් යායට ඇස් දීගෙන ඒ මූණවත් නොබලා.

ගෙදර යන්න...? හිතන් ඇති... අද අල්ල ගත්තෙනම් එහෙම යන්න දෙන්න නෙවෙයි..

වෙනදට ඔයා ඔහොම කතා කරද්දි මගේ කටින් එකට දහයක් වචන පිට වෙලා ඇති.ඔයාට ඇද කරන්න අතේ තියෙන එකකින් දමල  ගහල දුවන්න උනත් මම පසුබට වෙලා නෑ.ඒත් අද ඔයා දඟකාර කමට කතා කරද්දි මම ගොලු වෙලා ඇස් වල කඳුලු පිරිලා.

අනේ මගේ හොද කෙල්ල .. මේ අහන්න අපිට අඬන්නවත් රණ්ඩු කරන්නවත් මේ සුදුසු තැනක් නෙවෙයිනෙ.. ප්‍රශ්නෙ විසඳ ගන්නෙ නැතුව අපි දෙපැත්තට ගිහින් වැඩකුත් නෑ...වෙනද වගේම එක පැයකට එන්න මගේ ඔෆීස් එකට....

බෑ... මං දැන් පරක්කුයි.. අක්ක බනී...

අපි අක්කට කෝල් කරමු .. ම්ම්ම් .. අද ටිකක් පරක්කු වෙනව කියන්න... එතකොට අවුලක් නෑනේ...

අවුලක් තිබුනත් නැත්ත මම දන්නව මට දැන්  යන්න වෙනව.. ඔව් මම දැන් යන්න ඕනෙ එහෙම නැතුව ආයෙ ආයෙ විඳවන එක තේරුමක් නෑ.එක්කො මට අද මගේ යාලුව ආයෙ ලැබෙයි එක්කො සදහටම නැති වෙයි.එහෙම හිත හිත මම හා කිව්වෙත් ඔලුව දෙපැත්තට වනල බිම බලාගෙන.

හරී... එහෙනම් දැන් පොඩ්ඩක් ඔලුව උස්සල මගේ දිහා බලන්න... යන්න කලින් එකම එක දෙයක් අහන්න ඕන...

ඉතින් ඕකනෙ කරන්නම බැරිත් . ඇත්තමයි ඒ මූණ බලන්න මට තිබුනෙ පුදුම ලැජ්ජාවක්.ඒත් මම හිමිහිට ඒ මූණට මගේ ඇස් තිබ්බ.ඒ වෙනකොට හෙල්මට් එක ගලවල උන්න ඒ මූණ දැක්කම මාව තිගැස්සුණා.මුලු මූණ පුරාම රැවුල හරියට මම කලින් දන්න මගේ යාලුව නෙවෙයි වගේ. හත් දවසක් නිදි මරල වගේ ඇස් යට ගිලිල. පපුවට මහා දුකක් දැනුන ඒත් මම මුකුත්ම නාහා ඔහේ බලන් හිටිය.

කියන්න .. මාව විශ්වාසයිද...?

මගේ ඇස් දිහාම බලාගෙන ඔයා ඇහුවෙ මගේ ඇස් වලින් ඔයාට ඕන උත්තරේ ලැබෙන බව දන්නව වගේ.ඇහි පියන් මුලට කඳුළක් ඇවිත් නවතිද්දිම මම යාන්තමට ඔලුව වනල ඔව් කිව්ව.

තාමත් මම ඔයාගෙ හොදම යාලුව නේද ?

මම ඒකටත්  ඇස් වලින්ම ඔව් කිව්ව.

මට බයයිද ?

එහෙම අහපු ඔයා ඊට පස්සෙ ටික වෙලාවක් යනකන් සද්දයක් නැති නිසයි මම මූණ දිහාම කෙලින් බැලුවෙ ඔයා ඇස් දෙකත් ලොකු කරගෙන මූණෙ පොඩි හිනාවකුත් එක්ක ඉන්නකොටයි මම දැන ගත්තෙ මම ඒ ප්‍රශ්නෙටත් ඔව් කියල උත්තර දීල කියල.

බොරු නේද බබෝ ..?  බුදු අම්මෝ මමනෙ  ඔයාට බය ...

ඔයා ඒක කියපු තාලෙටනම් මගේ මූණටත් හිනා පිරුන.

ම්ම්ම් එහෙනම් යමු... යමු කිව්වට ඉතින් දැන් මම දන්නවනෙ කුමාරිහාමි කීයටවත් මේකට නගින්නෙ නෑ කියල... ඔයාව ට්‍රයිශෝ එකකට දාන්නම් මම පිටිපස්සෙ එන්නම් හොදේ... කමක් නෑනේ...

ඔව් ඉතින් එහෙම නැතුව කීයටවත් මම මුන්දැගෙ බයික් එකට නගීයැ.. මෝටබයික් කියන්නෙ මම අකමැතිම වාහනේටනෙ අඩුම තරමෙ මල්ලි එක්කවත් හදිස්සියකට ගමනක් යන්න එයාගෙ බයික් එකට නගින්නෙ නැති එකී මේකට නගීද. ඔයා ඉතින් මගේ ඒ භීතිකාව ගැන දන්නවා ඒකට මට අනන්ත විහිලුත් කරනවානෙ.

                                 පිල්ලෑව පන්සල ගාව ඉදල ඔයාගෙ ඔෆීස් එකට මහ දුරක් නෑ. ඔෆීස් එකක් කිව්වට ඒකෙ ඔයා ඇරෙන්න වෙන කවුරුත්ම නෑ.ඔයා වැඩ කලේ පිටරට සමාගමක් එක්ක  සේරම වැඩ  උනේ අන්තර්ජාලය හරහා.ඉතින් ඔයාගෙ ඔෆීස් එකට බොසුත් ඔයා පියනුත් ඔයා තේ හදන්නෙත් ඔයා අතුගාන්නෙත් ඔයා.මීට මාස ගණනාවකට කලින් ඉස්ස ඉස්සෙල්ලාම ඔයාව දකින්න මේ ඔෆීස් එකට එද්දිවත් අද තරම් මගේ හිතේ තිගැස්මක් තිබුනෙ නෑ.එදා ඒ පලවෙනි හමුවීමෙන් පස්සෙ කොහොමටවත් ඔයා ඉදිරියෙ පිටස්තර පිරිමියෙන් ලඟ තනියම ඉන්නවා කියන බය  අවිනිශ්චිත බව කවදාවත් දැනුනෙ නෑ.ඇත්තමයි කෙල්ලෙකුගෙ ඒ විශ්වාසය දිනන්න තරම් ඔයා හොද පිරිමියෙක්. හොදම හොද යාලුවෙක්.මේ තරම් පපුව බර ඒ හොදම හොද යාලුව මට අහිමි වෙවි කියන බයට දුකට.ත්‍රීවීල් එක ඇවිත් ගේට් එක ළඟ නවත්තනකොටම ඔයාගෙ බයික් එකත් ඒ එක්කම ඇවිත් නැවතුනා.ඔයා සල්ලි ගෙවල ඉවර වෙනකනුත් මම ඔහේ වාඩි වෙලාම හිටිය.ඔයා ඇස් වලින් කතා කරල මට බහින්න කිව්ව.වෙනදට කොල්ලෙක් වගේ දඟල දඟල පඩි පෙල නගින මම අද ඔයා පස්සෙ වැටිල ගාට ගාට පඩි නැග්ග. ඔෆීස් එක ඇතුලට ඇවිත් දොරත් වැහුවට පස්සෙ ඔයා ලොකූ හුස්මක් අරන් පහල දැම්මෙ හරියට මහා යුද්ධයක් හමාර කලා වගේ.පලවෙනි දවසෙ ආව වෙලාවෙවත් නොදැනුන ආගන්තුක බවකින් මම එකල මෙකල වෙවී හිටිය.

අනේ දැන් ඉතින් ඇති කෙල්ලේ... කවදාවත් නාපු තැනක් වගේ ඔහොම බලන්න එපා...මට ඕන අර කලින් හිටපු  පිස්සු කෝච්චිය ...අර මගේ හොදම යාලුව... මෙතන්ට ඇවිල්ල මටත් සද්දේ දාගෙන මාවත් බය කරගෙන හිටපු ඒ දඟ මල්ල...මට හදිස්සිම වැඩක් තියෙනව ටක් ගාල ඒක කරනකම් ඔයා වාඩි වෙන්නකෝ ..ම්ම්ම්.. අපි කතා කරමු ඊට පස්සෙ හොදේ...

ඔයා එහෙම කියල ඔයාගෙ කම්පියුටරේ ළඟ වාඩි වෙද්දි මම වෙනදා වගේ ඒ ළඟම තියෙන අනිත් මේසෙ කම්පියුටරේ ඉස්සර වාඩි නොවී ඈතින් තිබුන පුටුවකට බර උනා.ඔයා කට උල් කරල ඇස් පොඩි කරල මගේ දිහා බැලුවත් මම ගාණක්වත් නොගෙන හිටිය.ඒ විදියට විනාඩි දහයක් පහලවක්වත් ගත වෙන්න ඇති. ඔයා ඔයාගේ වැඩ මම මගේ කල්පනාවල.

සාගරට කිව්වද......?

ඔයා ඩෝන් ගාල කොහෙන්වත් නැති තැනකින් ප්‍රශ්ණයක් අහද්දි මගේ ඇස් උඩ ගියා.

මොන සා....ග...

ඇසිල්ලකින් කටින් එලියට පැන්න වචනෙ මම එහෙමම නතර කර ගත්ත.ඔයා ඉස්සරහ සාගර කියන බොරුවෙ හරි පරිස්සමට කතා කරන්න ඕන කියන එක මට මතක් උනේ ඒ වචනෙ කටින් පිට උනාට පස්සෙ.

මොනාද ...?

කලින් මුකුත් කිව්වෙ නෑ වගේ මම ඉක්මනට ඊට පස්සෙ එහෙම ඇහුවා.

වෙන මොනාද ඉතින්... මම ඔයාව වැට්ටුව.. ඔයාට රිද්දුව තුවාල කලා කියල...

මට හිත යටින් හිනා ගියා ඒ කතාවට ඇයි වදේ මොන කෙල්ලටද කියන්න පුලුවන් තමන්ගෙ කොල්ලට වෙන එකෙක් අතින් ඇදල බිම වැට්ටුව ඊට පස්සෙ තුරුල් කරගෙන සැනසුව කියල. මම එහෙම හිතුවට ඒ ටික නොකියා නෑ කියල ඔලුව වැනුව.

ම්ම්ම් ඒකත් එහෙමද... හරි මැඩම් දැන් ඔතන හිටිය ඇති එන්නකෝ මෙතන්ට මම වැඩනෙ... අපි වැඩ කර කර කතා කරමු හොදේ...

එයා එහෙම කිව්වට මම නෙවෙයි හෙල්ලුනේවත්.

ආඩම්බරකාරි එන්නෙ නෑනේ... හරි එහෙනම් ඔන්න මමම එනවා ..

එයා එහෙම කියල කැරකෙන පුටුවෙ පොඩ්ඩක් දිගෑදිල කකුල් බිම ගහල තල්ලුවේගෙන ඇවිත් මගේ ඉස්සරහම පුටුව නතර කර ගත්ත.

හරි බබා මම ඉස්සෙල්ලම පොඩි දෙයක් අහන්නම්... ඒකට මට ඇත්තම ඇත්ත කියනවද...ඊට කලින් ඇස් උස්සල මගේ දිහා බලන්න.. මගේ මූණවත් බලන්න බැරි තරමට ලොකු වරදක් මගේ අතින් ඔයාට උනා කියල තවත් මට දැනෙන්න දෙන්න එපා ප්ලීස්...

 ඔයා එහෙම කිව්වම මගේ හිතම බර උනා. ඇත්ත.. මේක දැන් ඕනවාටම වැඩියි තමයි.අනික වරද ඔයාගෙත් නෙවෙයි කිලුටු වෙච්ච හිතුවිලි තියෙන්නෙ මගේ හිතේමනෙ.ඒකට ඔයාට මේ තරම් දඬුවම් කරන එක සාධාරණ  නෑ. මම ලොකු හුස්මක් එක්ක ඇස් උස්සල ඔයා දිහාට පා  කලා.

 පන්සලේ ඉදලත්නෙ ආවේ ඒ නිසා  මොනම හේතුවක් නිසාවත් බොරුවක් කරන්න බෑ ඔන්න හොදේ...

ඔයා එහෙම කිව්වෙ බොරුවට මාව බය කරන්න වගේ මූණත් හදාගෙන.

හරි බබා.. මට කියන්න .. සාගර කියල කෙනෙක් ඔයාගෙ ජීවිතේ ඉන්නවද...?

කෙලින්ම මගේ ඇස් අල්ලගෙන දඩස් ගාල එලියට දාපු ඒ ප්‍රශ්නෙට මාව තුශ්නිම්භූත උනා.




 ( ඉතින් අදට මේ ඇති.අපේ කතාව ආයෙ දවසකත් ලියන්න වේවි.බය වෙන්න එපා නොවරදවාම මම ඒ කතාව ඔයාට කියනවමයි. එතකන් බලන් ඉන්න හොදේ.)

Jun 3, 2017

සත්තමයි එය එසේ විය යුතුමය !





ගෑවි ගෑවී උරෙ'නුර
තුරුළු වී ගෙන
එක කුඩේ යට
වැහි වළාවට
මුවා වෙන සඳ
ඔබේ දඟැ'ගිලි
මගේ ගෙළ මත
හුරතල් විය යුතුමය....

හීන් පිණි මල්
වැස්ස සිප ගෙන
හමන මුඳු මඳ නල
විසුරුවද්දි අක්ඹබරු
කෙස් රොද මෑත්කර
නලල් තල මත
හාදු පිංචක්
තැවරිය යුතුමය....

දෙනෝදාහක්
යනෙන මඟ වුව
මුවා වී පොඩි මල්
කුඩේ යට
පාත්වී තෙත
කම්මුලක් මත
තැබිය යුතුමය
හාදු සළකුණ....

Jun 2, 2017

මලක මුල් පෙම !






ඇහැරිච්ච ලාරෝස පෙති මත
සියුම් චුම්බන තබන මඳනළ
හඬා වැටුනා පෙමින් ආතුර
පියාඹා ඇවිත් නෙක බිඟු කැල

උරා බොනකොට මලේ මුවරද
මලේ අයිතිය ඹමර කුළයට
ලියා ඇති මුත් මලක ඉරණම
කාටත්ම කලින් පෙම් පිණි ඉස
පෙම් කරන්නට බැරිද සුළඟට

රැගුවාට බිඟුන් මල වට කර
උන් දන්නෙ නෑ මලක මුල් පෙම
අනඟ රැගුමට පැමිණි ඹමරුට
නොවෙයි සියොළඟ ඉම්ඹ සුළඟට