සඳට බැළුම් හෙලූ අය

May 25, 2017

life is a dream realize it !





                       අද බොහොම  වැහිබර දවසක් නේද ...? මේ වගේ වහින වෙලාවක හැමෝම ආස රස කෝපි එකක රහ බලන්න ... එහෙම නැත්තන් ජනේල් එපිට වැටෙන වැස්ස දිහා බලාගෙන කවි සිතුවිල්ලක් අවදි කරන්න...ගොඩක් අය වැඩිපුරම ආස මේ වගේ වහින වෙලාවක සීතලට ගුළිවෙලා නිදා ගන්න.මමත් ඔය හැමදේටම එක වගේ ආසයි.ඒත් ඊටත් වඩා මම ආස දෙවල් ගොඩාක් තියෙනව මෙහෙම වහින වෙලාවක කරන්න.වැස්ස කියන්නෙ ගොඩක් වෙලාවට අපි එලියට බැහැල ගමනක් බිමනක් යන්න අදිමදි කරන දවසක්නෙ.ඒත් මමනම්  ආසයි මේ වගේ දාරාණිපාත වැස්සක් යටින් කුඩයක් අරන් පයින් කොහේ හරි ඇවිදින්න යන්න.දැනුත් මේ එහෙම ගමනක් ගිහින් ඇවිත් තමයි මේක ලියන්න පටන් ගත්තෙත්.

             මහ වැස්සක් කඩන් වැටෙන වෙලාවක කෝපි කෝප්පෙ පැත්තකින් තියල අයිස්ක්‍රීම් එකක් තොලගාන්න හිතෙන්නෙ කීයෙන් කීදෙනාටද ? මමත් අන්න ඒ අයගෙන් එක්කෙනෙක්.වැහි වතුර දෝරෙ ගලන පාරක චිරි චිරි ගගා පයින් ඇවිද ඇවිද කඩවල් ගානෙ ගිහින් ශොපින් පාරක් දාල හොද රස අයිස්ක්‍රීම් පොට් එකකින් අයිස්ක්‍රීම් එකක් කනකොට දැනෙන අමුතුම මිහිර ... ම්ම්ම්ම්ම්... ඒ අත්දැකීම විඳපු කෙනෙක්මයි දන්නෙ.හැබැයි ඉතින් ඔව්වා කරන්න තනියමනම් ටිකක් කම්මැලියි.ජාඩියට මූඩිය වගේ හොද ආදරවන්තයෙක් වන්තියක් එහෙම නැතන් හොද ජීවන සහකරුවෙක් කාරියක් ඒත් නැත්තන් හොද යාලුවෙක් යෙහෙළියක්වත් ඉන්නම ඕනෙ. ඉස්සර සත්තලනුයි මමයි ආදරේ කරන කාලෙනම් වහිනවා කියනන්නෙ මට රජ මගුල් වගේ.ඒ දවස්වල අපිට ඉතින් රෝද හතර තිබුනෙත් නෑ රෝද දෙකෙන් තමා ගමන බිමන.ඒ කාලේ වැහි දවස්වලට තෙමුන තෙමිල්ල ආයෙ කවදාවත් තෙමෙන්නෙ වෙන්නෙ නෑ. එක දවසක් වැස්සෙ තෙමීගෙන සීතලේ ගැහි ගැහී KFC  ගිහින් අයිස්ක්‍රීම් ඉල්ලුවම ඒ කොල්ලා අපි දිහා බැලුවෙ පිස්සන් කොටුවෙන් පැනල ආපු උන් දෙන්නෙක්ද දන්නෙ නෑ කියනව වගේ.අපරාදේ කියන්න බෑ ඒ දවස්වල දැන් වගේ කට කැඩිච්ච කතා ආඩපාලි කතා එහෙම නොකියා සත්තලන් මගේ හැම පිස්සු වැඩකටම සහයෝගය දුන්නා.එක වහලක් යටට වෙලා ඉස්තලන් කොලු පැටියා හම්බෙනකනුත් ඔය පිස්සු වැඩ දිගටම කෙරීගෙන ගියා.දැන් ඉතින් පොඩි පැටියා නිසා සමහර දෙවල් සීමා කරන්න වෙලා.

  සමහර දෙවල් සීමා කලාට පොඩි පැටියා නිසා සමහර දෙවල් වලට මටත් හිතේ හැටියට නිදහස හම්බවෙලා.ඊයෙ හැන්දෑවෙ වහින වෙලාවෙ මමයි පුතු පැටියයි විතරයි ගෙදර.අපි දෙන්න හිතේ හැටියට වැස්සට පැනලා පීලි වලින් නාලා බොට්ටු යවලා ඉස්සරහ මිඳුල මඩ වගුරක් කරලා සත්තලන් එන වෙලාවට බොහොම සීරුවට ගේ ඇතුලට වෙලා පාඩුවේ හිටියා.හැබැයි ඉතින් රෑ අට නවය වෙනකොට වැඩේ මාට්ටු. අම්ම හ...චී...ස්... කියල ඉවර වෙනකොට පුතා හ...චී...ස්... කියනව  පුතා ඉවරවෙනකොට ආයෙ අම්ම ආයෙ පුතා.තාත්ත දන්නව අම්මයි පුතයි හැරෙනකොට මගෝඩි වැඩක් කරල තමයි ඉන්නෙ කියල.ඒත් ඉතින් මේ අම්මයි පුතයි සැලෙයි ඔව්වට.. හි හී .ඉතින් අද මේ ලියන දැනුත් එක සීරුවට වහිනවා. අද උදේ ඉදන්ම මෙහෙම තමයි.ඔන්න දවසක් මේ වගේ වහින වෙලාවක සත්තලනුත් ගෙදර.

මම - ඒයි බන්ටු වහිනවා..
සත්තලන්  - ඔව් ඔව් මට පේනවා
මම - අපි ටවුන් යමුද
සත්තලන් - අර අහවල් එකකටද
මම - අපි P&S යමු .. ම්ම්ම් නැතන් K- ZONE... නෙස්කැෆේ බීල චොක්ලට් කේක් කමු..
සත්තලන් - ය..කෝ මේ ගෑණිට මේ හෙන ගගහා වහින වෙලාවෙත් කන බනේට වැඩිය වෙන මුකුත් මතක් වෙන්නෙ නෑනේ...
මම - වෙන මොනා මතක් වෙන්නද අනේ..
සත්තලන් - ඇයි බං  යෝදියේ පොඩි එකත් දොයි... ඒකා හැම තිස්සෙම මට කරදර කරනවා නංගි බබෙක් ගේමු ගේමු කියල
මම - හෑ.. තාම වචන දෙකක් ගැට ගහලා කතා කොරන්න බැරි එකා එච්චර දෙයක් කිව්වද...?
සත්තලන් - නැතුව... ඒකට කතා කරන්න පුලුවන් ඒකා කතා නොකර ඉන්නෙ මම පව් නිසා
මම - මොකක්
සත්තලන් - ඔව් පොඩි එකත් දන්නව පැය විසිහතරම අම්මගෙ කච කචේ මදිවට උන්දැත්  පටන් ගත්තොත් තාත්තට යන එන මං නැති වෙනවා කියල..
මම - ආ .. ඇත්තද උගන්නන්නම්කො දෙන්නටම හොද පාඩමක්
සත්තලන් - මේ... එව්වා වැඩක් නෑ මොකද කියන්නේ...
මම - මොනාද ..
සත්තලන් - නෙස්කැෆේද..? නංගි බබෙක්ද... නෙස්කැෆේද..? නංගි බබෙක්ද
මම - නෙස්කැෆේ..


ඔන්න ඔහොම කතාත් වෙනවලු ඉතින්.අදත් මේ හැන්දෑවේ කොහේ හරි යමුද අහන්න මම මේ තෙපර බබා  ඉන්නව. ඇයි ඉතින් මොනා අහගන්න වෙයිද දන්නෙ නෑනේ.
     

May 17, 2017

ප්‍රියේ නුඹ මට උපනූපන් ජාති හමුවේවා !


                                                     
                                                         ( සත්තලනුයි මමයි, ඔව් අපි කට්ට කලුයි )


දැන් දවස් දෙක තුනක ඉදන් අපේ එක්කෙනාගේ මූණ හරි නෑ. ඔව් ඔව් සත්තලන්ගෙ තමයි.අද උදේ මම මගේ පත්තරේක ගිය කවියක් පෙන්නලා ඒක කපලා හදලා දෙන්න කිව්වම මගේ ඇගට කඩන් පැන්නා.

හ්.. ඕන එකෙකුට කියලා හදා ගන්න එකයි ඇත්තෙ....

ඕන එකාට තමයි ඉතින් මේ කිව්වෙ.....

මම හදන්නෙ නෑ...  ලෝකෙම ඉන්න උන්ට කයි කතන්දර ලියනවා දැන් හත් අවුරුද්දකින් මට කවියක් ලිව්වද...

හප්පටසිලි වේවා මේකයි එහෙනම් මේ මෙයාට ඩෝං ගිහින් තියෙන්නෙ.මට හිනා ඉතින්.

හා.. දැන් කාටද මම කවි ලිව්වේ...?

ඇයි ඔය අර ගල් මූසලය මධවන්ටයි.. කසුන්ටයි උගෙ අප්පච්චිටයි .. දෙවෙන්දොරා කියන මී හරකටයි .. ඔය සේරම ගැන ලියන්නේ...

මේ මේ එන්න එපා  එයාලට  බනින්න හරිද...

ආ.. ඒක තමයි මේ ගෑණිට මට වැඩිය සේරම  උන් ලොකුයි..

හානේ මේ ගල් ඉබ්බ කියන බොරු...හා කියනෝ බලන්න බොට තරම් මම වෙන කාටවත් කවි ලියලා තියෙනවද කියලා...

ඒක ඉතින් මම දන්නෙ කොහොමද යාන්තමට එකක් දෙකක් මතකයි මට...

හරි හරි අදම ලියන්නම්කො එකක්...හැබයි අද පෙන්නන්නෙ නෑ ..

ආ හරි හරි  නැකතක් එහෙම බලලා පෙන්නපියකෝ එහෙනම් ඉස්සෙල්ල ලියල ඉන්න එපැයි...

මේ දවස්වල මගේ කවි හරි නෑ අනේ... කිසිම ලස්සනක් නෑ...

ඇයි දැන් කලින් ලස්සනයි කියලා කවුරු හරි කිව්වද...
අනේ මේ  යනෝ යන්න ලියන්නෙම නෑ ඔන්න හොදේ...

                                           ******************************

 ඔය  මීට සුමානෙකට විතර කලින් අපේ ගෙදරින් ඇහිච්ච ජවනිකාවක කොටසක්.ඕක ඉතින් මාස හත අටකට සැරයක් වෙන බොහොම සාමන්‍ය  ජවනිකාවක්. මම කවියක් ලියලා මෙන්න බලන්න මේක ඔයාටයි කියලා කලෙකින් දුන්නෙ නැත්තන් ඔහොම අදෝනාවල් ඇහෙනවා. හි හී..ඇත්තටම දැන් සෑහෙන කාලෙකින් සත්තලන්ට කවියක් ලියන්න බැරි උනා තමයි.හැබැයි ඉතින් අද එයා වෙනුවෙන් මුකුත් නොලිව්වොත් ආයෙ කවදා ලියන්නද...

අද මැයි මාසෙ 17 වෙනිදා... 
ඔයා මේ ලෝකට පා තියපු දවස...
අද මැයි 17 වෙනිදා...
ඒ වගේම අපේ ආදර කතාවට 
අදට වසර නමයක් පිරෙනවා...
ඔව් ඒ 2008 අවුරුද්දෙ මැයි 17 වෙනිදා...
හැමදාමත් ඔයා මතක් කරනව වගේ 
එදා තමයි ඔයාගෙ ජීවිත කාලෙටම 
වටින තැග්ග ලැබුන දවස...
මම ඔයාට ආදරෙයි කියපු දවස...
අවුරුදුම නමයක් ගත වුනාට පස්සෙත්
එදා ඒ දැනුනු නැවුම් බවින්ම 
ඒ ආදරේ මතක් කරන්න ,  විඳින්න තරම්ම
ඔයත් මමත් වාසනාවන්තයි...
ඉතින් අද වගේම හෙටත් 
තව බොහෝ කාලයක් 
මේ ආදරේ මේ විදියටම 
දැනෙනෙ හැගෙන විදියට 
අපි අපේ ජීවිතේ  බෙදාගමු..
මගේ සුදු මහත්තයෝ ඔයාට සුබම සුබ  උපන්දිනයක්  වේවා..!
අපි දෙන්නටම සුබම සුබ ප්‍රේමණීය ආදර සංවත්සරයක් වේවා ...!


                                  **************************************




ඔයා වෙනුවෙන් අද මම අලුතින් කවියක් ලිව්වත් ඒක මෙතන නොදා මම හැමදාමත් ආස ඔයා වෙනුවෙන් ලියපු මුල්ම කවිය මෙතන ලියන්නම්.මේ කවියට පස්සෙ ඔයාට කොච්චර කවි ලිව්වත් මේ කවිය තරම් ඒ එකම කවියකටවත් මම කැමති නෑ.ඔයාට තරම්ම මම මේ කවියටත් ආදරෙයි.


මුඳු සමන් පිච්ච මල් සුවඳක් වගේ
හීනියට හීනියට
පාවෙලා ඇවිල්ලා
හදවතේ උඩම මහලට වැඩිය
රත්තරං ඔයාගේ ආදරේ
පන්සලක සිල් සුවඳ වගේමයි

දළදාවේ තේවාව වෙලාවට
උන්හිටි ගමන් ඇද හැලෙන
හීන් හිරි පොද වගේ
නොකියාම හදිස්සියෙ හිතට එන
රත්තරං ඔයාගේ ආදරේ
නුවර වැවේ දිය කඳ වගේමයි

හීතළම මීඳුම් සළුවක වෙළි වෙළී
ආදරේ මිහිරිතම සුව විඳින
කප් සුවහස් කාලයක් නොවෙනස්ව
සමනළුන් වන්දනාවේ යනෙන
රත්තරං ඔයාගේ ආදරේ
මේ මහා සමන්ගිර වගේමයි


May 7, 2017

ආදරණීය කසුන් !



ආදරණීය කසුන් ...

ඔයා දන්නවද...
පිච්ච මල් පුරවපු වතුර කළෙන් නාලා
ගෙට ඇවිත් දවස් දෙකක් යන්නත් කලින්
මම ඔයාට ආදරෙන් පිස්සු වැටුන....
එහෙම කිව්වට ඉතින් මම ඒ වෙනකොට ආදරේ ගැන
මෙලෝ හසරක් දැනගෙන හිටියෙ නෑ
ඒත් ඔයා ගැන... ඔයාගෙ සුදු නංගි ගැන කියවල
එදා මම අඬපු තරම්
වස්සානයේ පිටු අදටත් සාක්කි දරනව....
කසුන්.....
ඔයාට ආදරේ කරපු තරමටම මම
වෙලාවකට සුදු නංගිට ඊරිසියා කලා
කොටින්ම මට ඒ දවස්වල ඕන උනා
මගේ නම චාපා ගංඟාදරී කියල වෙනස් කර ගන්න
ඒත් ඉතින් යාන්තන් අවුරුදු දොළහක් වෙච්ච
බටු කෙල්ලෙකුට පුලුවන්ද එච්චර හපන් කමක් කරන්න...
ඇත්තමයි ....කසුන්.....
මම ඔයා නිසා කොච්චරනම් හිත රිදව ගත්තද.....අඬා වැටුණද....
ඔයාගෙ ආදරෙන් පිස්සු වැටිල සති ගානක්
යනතුරුම මම හිටියෙ පා වෙවී වගේ
යෞවනේ එළිපත්තට අඩිය තියද්දිම ඔයා මගේ පපුවට දුන්නෙ
එසේ මෙසේ ගින්දරක් නෙවෙයි කසුන්......
ඔයාගෙන් රිදුණු හිත යාන්තන් සුවපත් වෙන්න ගත්තෙ
දුයිෂෙන් මගේ ලෝකෙට එබ්කම් කරන්න
පටන් ගත්තට පස්සෙ
ඒත් මගේ පළවෙනි ආදරය වෙච්ච ඔයාව
අමතක කරන්න මට පුලුවන් කමක් තිබුනෙ නෑ
එහෙමයි කියලා දුයිෂෙන්ට බෑ කියන්නත් හිතක් තිබුනෙ නෑ
කසුන්.....
මම ඔයා එක්ක පබ්ලික් ලයිබ්‍රි එකේ එකම මේසෙ දෙපැත්තට වෙලා
ඇස් වලින් දාහක් දෙවල් කතා කරන ගමන්ම
හිම මිදෙන හීතලේ ස්ටෙෆ් මිටියාවතේ වැතිරිලා
දුයිෂෙන් එක්ක අහසෙ තරු ගණන් කලා...
අනේ කසුන්......
අන්තිමට මටම මම ගැන චී.... කියලා හිතුන....
කොහොමද එකම විදියට එකම තරම් එක පාර
දෙන්නෙක්ට ආදරේ කරන්නෙ....?
ඒ නිසා මම ඔයාල දෙන්නව හිතින් කිරල බැලුව
එක පාරක් නෙවෙයි දහදොළොස් වතාවක්ම කිරල බැලුව
දන්නවද කසුන්....
කොහොම බැලුවත් ඔයාගෙ පැත්ත පෝ.....ඩ්ඩක්... උඩින් ...
ඉතින්...මම මගේ විජාතික පෙම්වතාව
හදවතේ ගැඹුරුම තැනක ලො.....කූ ඉඩක් දීල  හැංගුවා.
ඉතින් දැන් කාටවත් කියන්න පුලුවන්ද මම මහ චපල කෙල්ලෙක් කියල
අහන්න කසුන්....
එදා ඉදන් මේ වෙනකනුත් මම ඔයාට
එකම විදියට ආදරේ කරනව කියල
මේ කියනකන් ඔයාවත් දන්නෙ නෑ නේද....?
ඔයාගේ සුදු නංගි තරමටම
නෑ... නෑ... නෑ....
ඊටත් වඩා ඔයාට ආදරේ කල ..කරන
මම ,

සොඳුරු සඳවතී ...

May 1, 2017

දයාබර නොරිකෝ !



 දයාබර නොරිකෝ....

                             මේ පාලු රාත්‍රිය ඉහිලුම් නොදෙන තරමටම හිතට වද දෙනව.මට ඔයාගෙ නිල් ඇස් වෙන කවරදාටත් වඩා මතක් වෙනව නොරිකෝ..මේ වගේ වෙලාවට තමා මට හිතෙන්නෙ ඔයාව සදහටම අතහැරල මම මේ ආව ගමන ඉක්මන් වැඩියි කියල.ඒත් දැන් පසුතැවිලි වෙනවට වඩා මට කරන්න වෙන මුකුත්ම ඉතිරි වෙලා නැති බව ඔයාට තේරෙනව නේද..?ආදරෙන් අපිට ඉතුරු උනේ මේ වේදනාව මේ පසුතැවිල්ල මේ කඳුල විතරමද නොරිකෝ....

                             පාලු සුසානෙක සොහොන් කොතක් යට හිරවෙච්ච මගේ ආත්මය ඔයාගෙ ආදරේ ආයෙ ආයෙ ඉල්ල ඉල්ල කෑ ගහනව මගෙ නොරිකෝ.ඉස්සරහට සීතල තව වැඩි වේවි,හිම කුණාටු හතර වටින්ම මාව වට කර ගනීවි.මගේ ශරීරෙ පොලවට පස් උනාට මගේ ආත්මෙට මේ හීතල දැනෙනව නොරිකෝ.මේ වගේ වෙලාවක ඔයා ළඟින් උන්නානම් ඉස්සර වගේම අපිට පාලු අවන්හලක එක ළඟින් වාඩි වෙලා කෝපි බොන්න තිබුණ.තොරතෝංචියක් නැතුව කතා කරන ඔයාගෙ හුරතල් බල බල සකුරා මල් හැලිච්ච පාරවල් දිගේ ඔහේ ඇවිදන් යන්න ආයෙ කවදාවත්ම අපිට බෑ නේද නොරිකෝ...?

                          මේ මළවුන්ගෙ මාසෙ . මම දන්නවා නොවරදීම අද හෙට දවසක ඔයා ඒවි මාව බලන්න.හැමදාම වගේ එදාටත් ඔයා මගේ සොහොන පාමුළ වැටීගෙන කඳුලු හලාවි.මම ඔයාට අඬන්න එපා කියන්නෙ නෑ නොරිකෝ.ඒ ඔයාගෙ කඳුලු මට අගේ නැති නිසානම් නෙවෙයි.හීතලට ගල් වෙච්ච මගේ ආත්මෙට දැන් දැනෙන එකම උණුහුම ඔයාගෙ ඔය කඳුළක රස්නෙ විතරමයි නොරිකො.මම දැන් ඔයාගේ කඳුලු වලට හරි පෙරේතයි.
ඉතින් මම මඟ බලන් ඉන්නවා... ඉක්මනින්ම එන්න මගෙ නොරිකෝ... ඔය කඳුළකින් මගේ ආත්මෙ අවදිකරන්න......

 මං ,                                                                                  
ඔයාගේම දෙවෙන්දොරා

සුබෙකි මල් විතරක්ම
එපා අරගෙන එන්න
ඔය කඳුළු කෙංඩියත්
අරන් හනිකට එන්න
ගල් වෙච්ච ආත්මෙට
ඒ කඳුළු ඉසලන්න
හීතලේ පාලුවේ බෑ
මෙහෙම තනිවෙන්න

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...