සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Apr 24, 2017

මේ ප්‍රථම වසන්තයයි !





               ඒක අහම්බයක්.. ඔව් ඇත්තටම නොසිතූ විදියට සිද්ධ වෙච්ච අනතුරක්. එදා ඒක ඒ විදියට සිද්ධ නොවුනනම් මේ තරම් ලස්සන ආදර කතාවක ආරම්භයක් නොවී ඒ කතාව හිත් වලම වැලලිලා යන්න තිබුනා.ඒ මොකද දන්නවද ඔයා මටවත් මම ඔයාටවත් ආදරේ කරන බව අපි අපිට කවදාවත් ඉඟියකින්වත් දැනෙන්න ඉඩ ඇරියෙ නෑනේ.අපි යාලුවො... ඔව් හොදම යාලුවො.. ඔයා දන්නවද මම හිටියෙ ඔයාගෙ යාලුකමින් මුසපත්වෙලා.. ඒ ඇයි දන්නවද කවදාවත්ම මට පිරිමි යාලුවෙක් හිටියේ නෑ ඔයා තමයි මගේ පලවෙනි පිරිමි යාලුවා උනේ.ඒක හරිම සුන්දර යාලුකමක්..අපි යාලුවො වෙනකොට ඔයාට අයිතිකාරියෙකුත් හිටිය. මමත් සෙකන්ඩ් වෙන්න ගියේ නෑ මට අයිතිකාරයෙක් නොහිටියත් මමත් එහෙම කෙනෙක් ඉන්නව කියල ඔයාට කිව්ව.( ඒ බොරුව ඇත්ත කරන්න මම කාපු කට්ට දන්නෙ මම ම විතරයි ) හරි ඉතින් ඒ කතා මොකටද, අද මට කියන්න ඕනේ ඔයා ගැන මම ගැන අපේ ආදරේ ගැන විතරමනෙ.
                    
                ඔයාව මුණගැහෙන්න කලින් මම ජීවත් උනේ හරිම පුංචි රාමුවක් ඇතුලෙ.තාත්තාගේ දැඩි රැකවරණය මුරකාවල් මැද  ජීවත් උන මම ඒ ග්‍රහණයෙන් මිදිල බාහිර ලෝකෙට අඩිය තිබ්බ විතරයි.ඔයාගේ අපූරු යාලු කම මගේ ජීවිතේට ලොකු හයියක් උනා.හැම තිස්සෙම මාව හිනාවෙන් තියන... මට  ලෝකෙ ගැන ජීවිතේ ගැන කියල දෙන ඔයාගෙ උතුරන මනුස්සකම් ළඟ අධි සංවේදී මගේ හිත ගොඩාක් වෙලාවට ඇස් වලට කඳුළු එක්කරන් ආවා.ඔයා මගේ උනානම් කියන පලමු වෙඩි මුරය හිතේ ඩෝං ගාලා පත්තු උනේ කවදද කියල මට හරියටම නිනව්වක් නෑ.ඒත් ඒ වෙඩිල්ලෙන් මගේ මුලු ආත්මෙම අඩපණ උනා.නෑ ඒක එහෙම වෙන්නම බෑ... පෙම්වතෙක් ඉන්නව වගේ මම රඟපෑවට ඔයා කරන්නෙ රඟපෑමක් නෙවෙයි.කවදාවත් ඔයා ඔයාගේ ආදරවන්ති  ගැන  හොද මිසක් මා ළඟදි දොසක් කියලවත් නෑ.ඉතින් එහෙව් ආදරේකට ගල් ගහන්න මං වගේ කෙනෙකුට හිතන්නවත් බැරි දෙයක්.අනික කිසිම කැළලක් නැතිව ලස්සනට ගලාගෙන යන යාලු  කමට ආදරේ විසබීජ ඇතුල් වෙන්න දුන්නොත් හොදක් වෙන්නෙ නැති බව මම මගේ හිතට තරවටු කර කර කියල දුන්න.හිත ඒක පිලිගත්තත් නැතත් මම හිතට ඕනෙ ඕන විදියට නටන්න උල්පන්දං නම් දෙන්න ගියේ නෑ නෑ නෑමයි.

                            ටවුන් හෝල් එකෙන් 120 ක නැගල ගෙදර එන ගමන් කොහුවලින් බැහැල ඔයා එක්ක පැයක් දෙකක් කියව කියව ඉදල යන ඒක ඒ වෙනකොට මගේ දින චර්යාවෙම කොටසක් වෙලා තිබුනෙ. මම වගේම ඔයත් ඒ පැය දෙක උදා වෙනකන් ඇස් දල්වන් බලන් හිටිය කියන එකත් මම දන්නව.කොහුවලින් බැහැල මම අරන් එන  කේක් කෑල්ලක් කට්ලට් එකක් රෝල් එකක්  එහෙමත් නැතන් උණු උණු ආප්පයක් එක්ක ඔයා හදන නෙස්කැෆේ එකක් මුලු හැන්දෑවම චමත්කාරයෙන් පිරෙව්ව.බලාගෙන යනකොට ඒ දවස්වල අපි අපේ ගැන නැතුව මුලු ලෝකෙම ගැන කතා කරල තිබුන.මම ආපු හැමදාකම ඔයාට ඉස්සෙල්ලම කරන්න උනේ බස් ටිකට් වල , ටිෂූ කොලවල ෆෝන් මැසේජ් වල  මම ලියාගෙන එන කවි කතන්දර ටයිප් කරල ලස්සන ලස්සන පින්තූර වලට දාල හදන එක.

මීඳුම ගලන
මහා පාන්දරක
හීතළම හීතළ
හිම බිංඳුවක් එක්ක
ඔබ කඩා වැටෙන්න
මගේ හිත මත්තට
ආදරෙත් මහා හු...ඟා...ක් අරගෙන...

පුහ්... කාටද අප්පා මේ ලියන්නේ

සමහර  කවි තාලෙට කියවලා ඔයා මගෙන් අහනව

වෙන කාටද ඉතින් අරයට

මම එහෙම කියන්නෙ ඔයාගෙන් ඇස් හංගගෙන.

ඔයා වගේ හිතන පතන කෙල්ලෙක් ලැබුන සාගරයනම් හෙන ලකී පොරක්

ඔයා එහෙමත් කියනව.සාගර... ඒ මගේ ලොකුම බොරුවෙ හැදෙන වැඩෙන මගේ පෙම්වතාට මම දුන්න නම.ඒ විතරක්නම් බැරියෑ මම එයාව ජීවත් කරවන්නෙත් මගේ හීන නගරය වෙච්ච නුවර.

                             ඉතින් පස්සෙ දවසක මේ සේරෝම කතන්දර වෙනස් උනා.දුකකින් රිදුමකින් ආරම්භ උන අපේ කතාවේ ලස්සනම ටික අන්න එදා තමයි පටන් ගත්තෙ.ඔයත් එක්ක ගත කරන කාලෙ අඩු කරල එදා මට මොකක් හරි දේකට යන්න  වෙලා තිබුන.හැබැයි ඉති මම යන්න හදන හැම පාරම ඔයා මොකක් හරි කියල මාව නැවැත්තුව.අන්තිමට මම හෑන්ඩ් බෑග් එකත් කරේ දාගෙන පුටුවෙන් නැගිට්ටෙ ඔන්න යනවමයි කියල.ඔයා හිටපු පුටුවෙ ඉදගෙනම අත දික් කරල මගේ හෑන්ඩ් බෑග් එකෙන් ඇද්දෙ ආපහු මාව පුටුවෙම ඉන්දෙන විදියට.ඒත් උනේ වෙන දෙයක් වාරු නැති වෙච්ච මාව පුටුවත් පෙරලගෙන බිමට වැටුන.ඒ තප්පරේදිම ඔයා පැනල මාව බදා ගත්ත.ඔයාගෙ පපුවට මගේ කම්මුලක් හිර උනා.ඔයා දහස් වාරයක් සමාව ඉල්ලන හඬ... ඔයා ඔයාටම බැන ගන්න හඬ... කොහෙද රිදෙන්නෙ කිය කිය අහන හඬ ...මට ඒ මුකුත්ම ඇහුනෙ නෑ.මට ඇහුන එකම දේ ... එකම දේ... ජිවිතේ පලවෙනි වතාවට පිරිමි පපුවක් මගේ කණ ළඟම හුස්ම ගන්න හඬ... මගේ ඇස් වලින් කඳුළු වැටුනෙ ටයිල් පොලවෙ වැලමිට ඇනිල අත හිරි වැටුනට නෙවෙයි...පුටු ඇන්දෙ වැදිල නලල ගෙඩි ගැහුනටත් නෙවෙයි...මං හිරිවැටුනෙ ඔයාගෙ පපුවෙ රස්නෙට...අනේ අඬන්න එපා... අඬන්න එපා  මම හිතල කලේ නෑ දෙයියනේ.. කිය කිය මගේ මූණටම එබිල කඳුළු පිහිදානකොට....  ඔය රැවුල් කොට මගේ කම්මුලේ වදිනකොට...බය, දුක, ලැජ්ජාව, ආදරේ තව මොන මොනවාදෝ නොදන්න හැඟීම් කප්පරකින් මම උන්නෙ වෙව්ල වෙව්ල.ඔයා බොහොම වෑයම් කරල මාව ඔයාගේ පපුවෙන් මෑත් කරගත්තෙ.මම ඇස් ඇරියෙවත් නෑ ගෙඩි ගැහුන මගේ නලලෙ එකම එක නිමේශෙකට ඔයාගෙ තොල් දෙක  තැවරුනා... යටි පතුලෙන් පටන් ගත්ත මොකක්දෝ හිරිවැටුමක් හිස් මුදුනට වෙනකන්ම එකම විදියට දැනුන.ඒ ඇසිල්ලෙම මම ඔයාවත් පෙරලගෙන නැගිටල දිව්ව.කොහුවල හංදියෙන් බස් එකකට නැග ගත්තට පස්සෙ තමයි මම හරි සිහියට ආවෙ.

                        ඒ වෙනකොටත් ෆෝන් එක එකම දිගට  රින්ග්ස් යනව. ඒ ඔයා කියල මම දන්නව. ඒත් ආන්සර් කරල මම මොනවද අහන් ඉන්නෙ.. මොනවද කියන්නෙ... අර තරම් ලස්සන යාලු කමක් එක තප්පරේකදි කිලුටු උනා කියන හැඟීම මාව පිස්සියෙක් කලා.ඔයාට ඒ මොහොත කොහොම දැනුනද කියල ඒ වෙලාවෙ මට නොදැනුනත් මටනම් ඒ විනාඩි දහය අමතක කරන්න මැරෙන්නම වෙයි කියලයි මට දැනුනෙ.ඔක්කොටම වැඩිය මම බය උනේ හිතේ පතුලටම ඇදල  වලදාපු ඔයා මගේ උනානම් කියන සිතුවිල්ල හිතේ උඩටම ඇවිත් බඩපිනුම් ගහපු එකට. එක දිගටම ෆෝන් එකට නිවනක් තිබුනෙ නෑ කෝල්  මැසේජ් ආයෙත් කෝල් මැසේජ්.ඒ මැසේජ් බල බල එදා මුලු රෑම මම කලේ අඬන එක. පහුවදා එලි වෙද්දි මට සහලෝල උණ.ඒ එක දවස විතරක් නෙවෙයි හරියටම දවස් 13ක් මම ඔයාව මඟ හැරිය... එකම වචනයක්වත් කතා නොකර එකම මැසෙජ් එකක්වත් නොයව.. එකම මේල් එකක්වත් නොයව ... ‍Yahoo, MSN Messenger  සති ගානක්  ඩිඇක්ටිවේට් කරගෙන මම ඒ දඩුවම් දුන්නෙ ඔයාටද මටද කියල අදටත් මම දන්නෙ නෑ.දන්නවද ඔයා....අදටත් ඔයා එවපු සමහර මැසේජස් අකුරක්වත් එහා මෙහා නොවී මට කට පාඩම්.

      '' මට දැන් තේරෙනව මේ තරහ මගේ අතින් ඔයාව වැටුනට නෙවෙයි... මම ඔයාට ළං වුන එකට. ඒ කිසිම දෙයක් මම හිතල කලේ නෑ.. ඔයා දන්නව මම කවුද කියල.. අඩුම තරමෙ මට සමාව ගන්නවත් අවස්තාවක් දෙන්න.. මෙහෙම නපුරු වෙන්න ඔයාට බෑ..''

 '' මම ඔයාව දන්නව... මේ වෙලාවෙත් ඔයා අඬනව ඇති...Plz එක වචනයක් කතා කරන්න.''

'' දන්නවද ඔයා.. මේ ඔයාගෙ යාලු කම මට ඕනම දවස්...ඒත් මම ඔයාව නැති කරගත්ත...හරි ඉතින් ඒකට මට ඔයාට ඇති කියල හිතෙන දවසක් වෙනකන්ම දඬුවම් දෙන්න ''

'' අපේ යාලු කමේ නාමෙන් ඔයාට යුතුකමක් තියෙනවා අඩුම තරමේ මම හොදින් කියල වත් ටයිප්කරල එවන්න.අත පයත් කඩාගෙන පිස්සියෙක් වගේ අඬ අඬ පාර දිගේ දුවගෙන ගිය කෙල්ලව මතක් කර කර එතනින් එහාට උනේ මොකක්ද කියල නොදැන මම මැරි මැරි ජීවත් වෙනව... හැබැයි ඔයා ඔච්චරම හිතුවක්කාරනම් මමත් ඒ තරමටම හිතුවක්කාරයි. මම ඔයාව හොයාගෙන කොයි වෙලේ හරි ගෙදරටම එන එක එනවමයි ''

                            ඒ මැසේජ් එක එද්දි මම හිටියෙ පිල්ලෑව පන්සලේ. ඔව් ඔව් ඔයාගේ හුළඟ වැදෙන කිට්ටුවම තමයි.ඒ සිද්ධියෙන් පස්සෙ කොහුවල පහු වෙනකන් ඇස් පියාගෙන ඉදල පිල්ලෑව පන්සල ගාවින් බැහැල පන්සලට යන්න මම පුරුදු වෙලා හිටිය.කලින් ඔයා ළඟ ගෙවපු මුලු කාලෙම මම පන්සලේ ගත කලා.ඉතින් මැසේජ් එක කියවල මම ගැස්සුන.තව මුරණ්ඩු උනොත් ඔයා කිව්ව විදියටම මාව හොයා ගෙන ඒවි කියල මම බය උනා.කල්පනා කරල කරල මම හොදින් කියල මැසේජ් කලා. අසුරු සැනින් ෆෝන් එක රින්ග් උනා.කෝල් එක කට් වෙනකන්ම මම ෆෝන් එක දිහා බලන් හිටිය මිසක්
ආන්සර් කලේ නෑ.ඊළඟට තවත් SMS  එකක්.

'' Baba.. plz answer da phn...''

මැසේජ් එක කියවල හුස්ම ඉහල පහල දාන පමාවට ආයෙමත් කෝල් එක ආවා.කෝල් එකට ආන්සර් කරල මම හුස්මවත් නොගෙන අහගෙන හිටිය

 නපුරි ... නපුරි... නපුරි...

සතුට දුක වේදනාව හදිස්සිය ඒ හඬේ නොඅඩුවම මට දැනුන.දවස් 13ට පස්සෙ ඔය කටහඬ ඇහිල මාව පිච්චුනා.

කෝ කතා කරන්න ඉතින්... අඬනවද ඔය....

 ඇත්තටම ඒ වෙනකොටත් මගේ ඇස් වලින් හෝ ගාලා කඳුළු කඩන් වැටෙනව.ඒත් මම වචනයක්වත් කතා කලේ නෑ.

කතා කරන්නකො... කොහෙද ඉන්නේ....

පන්සලේ... මම කිව්ව එක මටවත් ඇහුනද මන්දා.

පන්සලේ... මොන...

පිල්ලෑවේ..

ඔතනම ඉන්න... විනාඩි 10ක් ඇතුලත මම එනවා... අනේ මඟ අරින්නනම් හිතන්නවත් එපා හරිද... එහෙම උනොත් මං පස්සෙන් එන එක එනවා සත්තම සත්තයි...

මට වචනයක්වත් කියන්න ඉඩ නොතිය ඔයා ෆෝන් එක කට් කලා.බුදු මැදුර ඇතුලෙ එරමිණිය ගොතාගෙන වාඩි වෙලා උන්න මම එහෙමම බිත්තියට හේත්තු උනා.

 ඉතින් ඊට පස්සෙ තව කොච්චරක් දේවල් උනාද... ඒ හැමදේම එකම දවසින් කියල ඉවර කලොත් වටිනාකමකුත් නෑනේ.ඒ නිසා අපේ කතාව මම අදට නවත්තන්නම්කො. ආයෙ දවසක ඔයාගෙයි මගෙයි කතාව ලියල තියන්නම් හොදේ.

22 comments:

  1. මේක නම් ඇත්ත කථාවක්ම වේවා !!!!!

    ලස්සනයි තාත්ත්විකයි

    ReplyDelete
    Replies
    1. ස්තූතී ඉයන්... මේක ඇත්ත කතාවක්ද කියල කාටවත් මගෙන් අහන්න නොසිතේවා

      Delete
    2. මේක කාගෙ හරි ඇත්ත අත්දැකීමක් වුණානම් ඒක කියවන අයගෙත් හිතට සතුටක්.

      Delete
    3. ම්ම්ම් ඔව් .. කියවන අයට දැනෙයි කොහොමත් මේක ඇත්තම කතාවක් කියලා

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. නුඹත් එක්ක හිඳ සතුටු වූ දින දැනේ අපමණ කාලයක්
    මමත් රහසෙම වින්ඳෙ නුඹෙ ඔය ලස්සනට පිරි ආලයක්
    එදත් මට නොකියාම මාවෙත ලැබුණෙ දිවියට තාලයක්
    අදත් මතකයෙ රැඳෙයි සොඳුරිය ඔයා මට මුතු මාලයක්

    හිනා දෙසිතක රැඳවුණා මිස හිතේ දහසක පැතුම් මල්
    ගෙනා සුවඳම නොසිතු මොහොතක පිබිදුණා පෙම නමින් මල්
    මනා මිතුදම තවත් නොරැඳුණි ප්‍රේම දෙසිතක සිනා මල්
    හිනා පරදා ගලා වැටුණා ඔයාගේ නෙත් කඳුළු මල්

    සිතා වරදක් කෙරුවෙ නැහැ මා ඔයා දුකකට පත්කරන්
    ගොතා බොරුවක් නොකියණූ මට ආලෙ දෙසිතම එක්කරන්
    වතාවක් හෝ දකින්නට රුව පන්සලට එමි රත්තරන්
    කතා ඇති දැන් සොඳුරියේ නුඹ මගේ හදවත් මත්කරන් .......

    සඳූ.... ආදරබර කතාවක් ආදරේ ගලන්නම ලියලා. හරිම ලස්සනයි. ඉතින් මට දැණුනු ඒ කතාව පද ටිකකට මෙහෙම පෙරළුවා.

    දෙදෙනාටම නොකියා අවසන් වී ගිය ප්‍රේම මතකයක් මගේ ජීවිතේ තැනකත් තියෙනවා සඳූ. මේක කියවද්දි මට ඒ අතීතය මතක් වුණා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අපූරුයි දුමී හතර පස් වතාවක්ම මම මේ කව රස වින්දා... මේක ඔයාගේ බ්ලොග් එකෙත් දැම්මනම් තවත් වටීවි.ගොඩක් අයට ඒ වගේ සුන්දර අතීත මතක තියෙනවා නේද ... හැබැයි මේ කතාවනම් හිත් වලම ගොලු වෙලා ගියේ නෑ.

      Delete
    2. හොඳයි සඳූ. බලමු ඉදිරියේදී.

      ජයවේවා!!!

      Delete
  4. ශානී... මේක කාගෙම හරි ඇත්ත කතාවක් ..... ඒ තරමට ම තාත්වික යි. ඉක්මනට ඉතුරු ටිකත් ලියන්න

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් එහෙම හිතෙනවනම් එහෙම හිතන් කියවන්න සුදූ... ඉක්මනට ලියන්න බලන්නම්කෝ අනිත් ටිකත්

      Delete
  5. නියමයි,ඉතුරු කොටස් ඉක්මනට ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතී බක්කරේ... හා හා පුලුවන් ඉක්මනට දෙන්නම්

      Delete
  6. ඔයාගේ අත්දැකීමක් වගේ ..
    මේ ප්‍රථම වසන්තයයි ....

    ReplyDelete
  7. අනේ හරිම සුන්දරයි නංගී...මේක දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතී අක්කා... මේක මේ එක පෝස්ට් එකකින් ලියලා ඉවර කරන්න හිතන් පටන් ගත්තේ කෝ ඉතින් එහෙම බැරි උනානේ.

      Delete
  8. ඕ යෑස් මේක ඇත්තම කතාවක් තමයි...කතාවේ ආරම්භයනම් හොදටම දීලා තියෙනවා...
    හේතුවනම් දන්නෙ නෑ හුගක් ගෑනු ළමයින්ගේ හීන නගරෙ කොල්ලා ඉන්නෙ නුවර

    ReplyDelete
    Replies
    1. හෑ ඒ තරමටම ශුවර්ද ? ගොඩක් ගෑල්ලමයි ගැන ඉතින් විස්තර දන්නේ පිරිමි උන්දලා නේ ඒ නිසා ඒක ඇත්ත වෙන්න ඇති.අනේ ඒ හීන නගරෙන් මට කොල්ලෙක් සෙට් කරගන්න බැරි උන හැටියක්.

      Delete
  9. මෙක සොදුරු සදවතියගෙ සොදුරු ආදර කතාව කියලා හිතෙන තරමට ලස්සනයි. ඊලග කොටසත් ඉක්මනට ලියන්න

    ReplyDelete
  10. බොහොම ස්තූතී පිලෝ... ඉක්මනටම දෙන්න බලන්නම්

    ReplyDelete
  11. මේක නම් ඇත්ත කතාවක් වගේ
    කොහොම උනත් සුන්දරයි ඉතුරු කොටස කියවන්න බලන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ස්තූතී යාත්‍රාව මෙහෙටත් ආවට...

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.