සඳට බැළුම් හෙලූ අය

Jan 22, 2017

ගඟ නොකී කී කතා !




( මොරගහකන්ද ජලාශයට මංගල දියවර මුදාහරීයි පුවතක් )


දෑළ දෙවුරේ පිපිණු වන මල් සුවඳ මත්තෙම එතී
පීන පීනා මීන රළ පෙළ ළැමැද අස්සෙම වෙලී
දෙපා සිව්පා සතා කොයිකා උනත් වෙනසක් නැතී
නීල දියවර ගලා බැස්සෙම නිස්කාන්සුවෙ ඇලී

එහෙව් හදවත සිදුරු කරගෙන හිටි ගමන් උල් ඇනී
තිස්පැයේ එක සීරුවට මට දෙතිස් වදයම දිදී
මහා පවුරක් මතුව උන් මා දෙපැත්තට කර බඳී
මාව අඩපණ කරන්නට මගෙ බොටුවෙන්ම ගෙන අදී

යාය විහිදුණු තණ පළස් මත සා පැටව් ගුලි ගැහී
නමක් දන්නැති කැලෑමලකට සමනළෙක් වහ වැටී
හුබස් කට උඩ නා රජින්දෙක් දැහැනකට සම වැදී
තවත් ටිකකින් මේ අපූරුව ජල කඳක් යට නිදී

ගම් තුලානේ උන්නු උදවිය කොහෙද අද නෑ පෙනෙන්නේ
ගව් ගනන් දුර පෙන මානේ වනස්පතියයි දිලෙන්නේ
රංචු ගැහි ගැහි මොනර සේනා පිල් විදාගෙන රඟන්නේ
උන්ව යටකර ගලන්නද දැන් අනේ තොපි මට කියන්නේ

ඉපල්වුනු තුරු හිසක් මුදුනේ කුරුලු පවුලක් නිදන්නේ
උන්ගෙ නිවහන අහිමි වෙන බව කවුද උන් හට කියන්නේ
ගමක් යටකර රටක් අස්වද්දන්නලුනෙ දැන් මේ හදන්නේ
තොපිට හොදනම් මට මොකෑ මං ගැබ්බරයි දැන් මුදන්නේ

17 comments:

  1. රහ පිරුණු කවියක්. දිය කඳට කතා කරන්න පුලුවන්නම් අනිවාර්යෙන්ම ඔහොම

    මේ නමේ අවුල මොකක්ද?...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේ ස්තූති දුමී ඔයාට මේ ඇගයීමට. ආ... නම දිග වැඩී වගේ නිසා ශානි ශෂී කෑල්ල හැලුවා අවුලක් නෑ නේද ?

      Delete
    2. අවුලක් නෑ. "සොඳුරු" විතරක්මනම් තවත් හොඳයි......

      Delete
  2. නොකී කී කථාවම ඇති මහ සයුර මට හමුවෙන තුරා
    සමා අයදිමි වනමලේ ඔබැ සුමුදු වත තැලුවට මෙමා
    සා පැටව් දුව ගියා මොනරුන්ගේ පිල් වෙහෙසලා
    හෙට දවස ලස්සන කරන්නට දුවමි හනිකට මෝය කට බලා

    ReplyDelete
    Replies
    1. ඔබේ කවියත් හරිම අපුරුයි Chef-Archi..

      Delete
    2. හ්ම්ම්ම් ඔව් ඔව් සංවර්ධනයත් වෙන්න එයැයි

      Delete
  3. පුදුම ලස්සන නිර්මාණයක්..... මෙහෙම නිර්මාණ කරන්න පුළුවන් හැබැටම සොබාදහමත් එක්ක ජිවත් වෙන මිනිස්සුන්ට විතරමයි.....

    ReplyDelete
    Replies
    1. ස්තූතී එරන්දි.. අපි ඔය මොරගහකන්ද ඩෑම් එක බලන්න ගියා පහුගිය දවසක ට්‍රිප් එකක් ගිය ගමන්.කිලෝමීටර් ගානක් ඔය යට වෙන ප්‍රදෙශය හරහා තමයි වාහන ඩෑම් එක ගාවට යැව්වේ.ඒ පරිසරය ඒ සුන්දරත්වය දකිද්දි තව ටික දවසකින් මේ සේරම මැකී යනව කියල දැනෙද්දි මගේ හිතට ආපු හැඟීම තමයි මේ.

      Delete
  4. හොද කවි පෙළක්...කව්රුත් නොදැක්ක පැත්තකින්. ගැබ්බර ඇයට මුදන්න දෙමු අදට වඩා හොද හෙටක් දෙන්නට(එහෙමැයි කියනවා කොහොමද දන් නෑ)

    ReplyDelete
  5. /////යාය විහිදුණු තණ පළස් මත සා පැටව් ගුලි ගැහී
    නමක් දන්නැති කැලෑමලකට සමනළෙක් වහ වැටී
    හුබස් කට උඩ නා රජින්දෙක් දැහැනකට සම වැදී
    තවත් ටිකකින් මේ අපූරුව ජල කඳක් යට නිදී/////////

    දුකයි මේ සිද්ධිය හිතට ගන්නකොට හලෝ. අන්තිම පදය මම ලිව්වා නම් ඉවරකරන්නේ "නිදි වදී" කියලා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී අරූ... හි හී එහෙමත් නරක නෑ නේද

      Delete
  6. අපූරු නිර්මානයක්!
    පටන්ගැන්ම ලස්සනට දැනුණ. දෑළ කියන වචනය පවා කාව්‍යාත්මකයි. ඒත් වස්තුවිෂය ... 💔

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...