සඳට බැළුම් හෙලූ අය

Jul 12, 2016

තාම සුවඳයි ඒ මතක !



අදත් ඉඳහිට හවස්වරු වල
ඇවිද යනකොට පුරුදු මඟතොට
මතක තියෙනව අපට අමතක
වෙලා තැන තැන ලිහී විසුරුණ

සියක් දහසක් උකුසු ඇසඟින්
ඉඳුල් වන්නට නොදී ප්‍රේමය
එදා අප හමුවෙලා රහසින්
ඇවිද ගියෙ මේ වෙරළ පාරින්

ලැවීනියා හෝටලය පාමුල
බිඳී විසිරෙන රළක් ගානෙම
දැනන් උන්නා එදා අපෙ පෙම
වැටුණු උණු උණු කඳුළු ගානට

ආදරේ ලේ පාට හාදුව
මෙන්න මෙතනදි එදා ඔබ දුන්
තාම තෙත සළකුණක් වාගෙයි
සත්තමයි ගෙල මුල රිදුම් දෙන

කරදියට මුහු වෙච්ච හුළඟේ
ඇවිත් විසිරුව කෙස් කැරැල්ලක
අදත් තිබුනා එදා ඔබ දුන්
හාදුවක ආදරේ ලුණු රස

අහස් ගඟ කෙළවරින් මුහුදට
කඩං වැටුනා ඉරේ රැස් කඳ
එදා වාගෙම අදත් දැනුනා
වෙන්ව යන්නට නිමේශය වග

අදත් හිමිහිට ඇවිද යනකොට
වෙරළ තීරයෙ මතක මං පෙත
හොරෙන් නැවතී බලනවා අපෙ
ආදරේ රස රහස් සැඟවුන

2 comments:

  1. හ්ම්ම්.. ප්‍රේමය විරහවක්.. කවියට උල්පතක් කියන්නේ නිකං යෑ!

    ReplyDelete
    Replies
    1. හම්මේ තාම ඉන්නවා නේද ... සතුටුයි මෙහෙ යන එන බව දැන ගත් එකට, හ්ම්ම් ඒකනේ විරහව මොන තරම් සොඳුරුද අප්පා

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...